දේශීය ආර්ථික ක්ෂේත‍්‍රය විශාල වශයෙන් කප්පාදු කරලා

දේශීය ආර්ථික ක්ෂේත‍්‍රය විශාල වශයෙන් කප්පාදු කරලා

October 23, 2016   08:09 pm



මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇති බව ජ.වි.පෙ. ජාතික සංවිධායක , පාර්ලිමේන්තු මන්තී‍්‍ර,  බිමල් රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (23) පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

මෙයට පෙර 2016 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයේදී පදනම් කරගත්තේ අග‍්‍රාමත්‍යවරයා ඉදිරිපත් කරන ලද ආර්ථික ප‍්‍රතිපත්තියට අදාළ මූලික කරුණු කිහිපයක්. එහි ආර්ථික අපේක්‍ෂා 5ක් පදනම් කරගෙන තිබෙනවා. රැකියා දශ ලක්‍ෂයක් ආරම්භ කිරීම, ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීම, ග‍්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම, පුළුල් මධ්‍යම පංතියක් ඇතිකිරීම සහ වතු සහ ග‍්‍රාමීය ජනතාව බුක්ති විඳින ඉඩම් සින්නකරව ලබාදීම කියන මූලික කාරණා සඳහන් වුණා. ඒ වගේම රටේ බදු ප‍්‍රතිපත්තිය වශයෙන් ඉදිරිපත් කළේ ජනතාවගෙන් වක‍්‍ර බදු වශයෙන් අයකර ගන්නා බදු ප‍්‍රමාණය 40% දක්වා අඩුකර, සෘජු බදු ප‍්‍රමාණය 60% දක්වා වැඩි කරන බවයි. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සෘජු බදු වශයෙන් වැඩි බදු ප‍්‍රමාණයකුත් පහළ ආදායම් ලබන ජනතාව මත පැටවී තිබෙන වක‍්‍ර බදු ප‍්‍රමාණය අඩු ප‍්‍රමාණයකිනුත් ලබාගැනීමටයි පොරොන්දු වුණේ.

මෑත භාගයේ පූර්ණ අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකළ වර්ෂ තිබෙනවා. උදාහරණයක් වශයෙන් 2010 වර්ෂය හඳුන්වන්න පුළුවන්. යුද්ධයෙන් අනතුරුව පැවති තත්වය යටතේ අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් රාජපක්‍ෂ පාලනය රටේ මුදල් වෙන්කිරීම් කරගෙන ගියා. නමුත් 2016 වර්ෂය අයවැයක් ඉදිරිපත් කර එසේ වුවත් අයවැයක් ඉදිරිපත් නොකළ ආකාරයට ලංකා ඉතිහාසයේ පැවති පළවැනි වර්ෂයයි. ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිල වශයෙන් තුන් වරක් සංශෝධනය කළා. නමුත් එයට අදාළව හෝ කිසිවක් කි‍්‍රයාත්මක කළේ නැහැ. ඒ පදනම් කරගෙන ඉදිරිපත් කර තිබෙන රැකියා දශ ලක්‍ෂය ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන කිසිම තැනක නැහැ. අමාත්‍යාංශවල ප‍්‍රධාන ගණන් ගැනීමේ නිලධාරීන් මෙම වර්ෂයේ ආර්ථික කටයුතු ගැන කිසිවක් දන්නේ නැහැ.

රැකියා උත්පාදනය පිළිබඳව නිශ්චිත සංඛ්‍යා ලේඛන සේවක අර්ථසාධක අරමුදලට අලූතින් සම්බන්ධ වන සාමාජිකයන් මගින් ලබාගත හැකියි. නමුත් මෙම වර්ෂය තුළදී ලක්‍ෂයක් රැකියා ලබාදී නැති බව ඔප්පු වෙනවා. ජනතාවගේ ආදායම් ඉහළ දැමීම, ග‍්‍රාමීය ආර්ථිකය පුළුල් කිරීම, ශක්තිමත් මධ්‍යම පංතියක්  ඇතිකිරීම සහ ඉඩම් ලබාදීම අනෙකුත් සියලූ මූලික අපේක්‍ෂා කිසි සේත්ම සිදුකර නැහැ. වතුකරයේ ජනතාවට සින්නක්කර ඉඩම් ලබාදීම ඔප්පු 300ක් පමණ ලබාදීමට සීමා වෙලා.

මෙම වර්ෂයේ මුල් මාස 06 ඇතුළත ආර්ථික වර්ධන වේගය 3.9%ක් බව සඳහන් වෙනවා. විශේෂම දේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2.6% දක්වා අඩු වෙලා. ආණ්ඩුව බලයට පත්වන විට කීවේ ආර්ථික පුළුල් සැලැස්මක් මගින් 6%ක වර්ධන වේගයක් ලබාගන්නා බවයි. නමුත් මෑත ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය දෙවැනි කාර්තුවේ සඳහන් කරමින් සේවා ක්‍ෂෙත‍්‍රයේ 4.9%ක් වෙලා තිබෙනවා. මේ ආදී වශයෙන් සෑම ක්‍ෂෙත‍්‍රයකම ආර්ථික වර්ධන වේගය පහත වැටී තිබෙනවා. ඒ වගේම මහබැංකු වාර්තාවල සඳහන් නොකළ ජනතාවගේ එදිනෙදා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. රුපියල් 68/-කට තිබුණු කැකුළු සහල්වල මිල රු. 75 දක්වා වැඩිවෙලා තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වන විට කීව රටේ ණය බර සම්බන්ධයෙන් පසුගිය කාලයේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරනවා. මුල් මාස 06 තුළදී රුපියල් කෝටි 55,900ක ණය අරගෙන තිබෙනවා. රාජපක්‍ෂ පාලනය සුවිශාල වශයෙන් ණය ගත් බවට චෝදනා කරමින් විදේශීය වශයෙන් රුපියල් කෝටි 12,700ක්ද දේශීය ණය වශයෙන් රු. කෝටි 43,200ක්ද ලබාගෙන තිබෙනවා. ජනතාවගේ පැත්තෙන් බැලූවාම ආණ්ඩුව ඉදිරිපත් කළ රැුකියා උත්පාදනය ආර්ථික වර්ධන වේගය, ජීවන වියදම් අඩුකිරීම මේ සියලූ දේවල් අසාර්ථක වෙලා.

මෙහි ලොකුම බොරුව 2016 බදු ලබාගැනීම පිළිබඳවයි. මුදල් ඇමතිවරයා කියා තිබුණේ රාජපක්‍ෂ ආණ්ඩුව පොදු ජනතාව මත විශාල වශයෙන් පටවා තිබෙන බදු ප‍්‍රමාණය 80% සිට 40% දක්වා අඩු කරමින් සෘජු බදු වශයෙන් තිබෙන 20%ක ප‍්‍රමාණය 60% දක්වා වැඩි කර ඉහළ ආදායම් උපයන්නන්ගෙන් වැඩි බදු ලබාගන්නා බව කීවා. නමුත් අද සිදුවී තිබෙන්නේ පොදු ජනතාව මත පටවා තිබෙන වක‍්‍ර බදු ප‍්‍රමාණය 80% සිට 85% දක්වා වැඩිකර පොහොසතුන්ගෙන් ලබාගන්නා සෘජු බදු ප‍්‍රමාණය 20% සිට 15% දක්වා අඩුකර තිබෙනවා. මේ තත්වය ඇතිවී තිබෙන්නේ සමාගම් ලාභය මත 2013දී පනවා තිබූ 35%ක් තරම් බද්ද රාජපක්‍ෂ පාලනය තුළම 28% දක්වා අඩුකර තිබුණා. එය පසුගිය අයවැයෙන් 17% දක්වා අඩුකළා. මේ අනුව ඉහළ ලාභ උපයන සමාගම්වලින් ලබාගන්නා බදු ප‍්‍රමාණය මේ ආණ්ඩුව යටතේ 11%කින් අඩුකර ජනතාව මත බලපාන වැට් බද්ද විශාල වශයෙන් අඩුකළා.

මෙම  පසුබිම තුළ මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට අදාල විසර්ජන පනත සම්බන්ධයෙන් යම් අදහසක් ගනිමු. විසර්ජන පනතට අනුව අපි මෙම පැහැදිළි කිරීම කළත් මෙම වියදම් වරින් වර වෙනස් කරන බව අපි කව්රුත් දන්නවා. පසුගිය කාලය පුරාවටම විසර්ජන පනතෙන් වෙන්කරන මුදල් වසර මැදදී විශාල වශයෙන් වෙනස්කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉදිරිපත් කරන සංඛ්‍යා ලයිස්තුවක් මිස මේක ඇත්තම අයවැයට අදාල තත්වයන් නෙවෙයි. ඒ යටතේ වුණත් තිබෙන තත්වයන් පිළිබඳව අපේ මූලික කරුණු දැක්වීමක් තිබෙනවා. ගිය වසරට සාපේක්‍ෂව ජනාධිපතිවරයාගේ පමණක් වැය ශීර්ෂය රු. මිලියන 3060කින් වැඩිකර තිබෙනවා. ගිය වසරේ ජනාධිපතිවරයාට වෙන්කර තිබුණේ රු. මිලියන 2391යි. මේ වසරේදී එය රු. මිලියන 5451යි. දළ වශයෙන් 350%කින් පමණ වැඩිවීම විතරක් තිබෙනවා. ගිය වසරේ අගමැතිවරයාගේ සම්පූර්ණ වියදම මිලියන 486යි. මේ වසරේදී එය මිලියන 1254 දක්වා වැඩිකර තිබෙනවා. අගමැතිවරයාටම අයත් ආර්ථික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශයට රු. මිලියන 350කින් වැඩිකර තිබෙනවා.

මෙවර විසර්ජන ලේඛනයේ සුවිශාලම කප්පාදුව මේ රටේ දේශීය ආර්ථිකයට අදාළ ක්‍ෂෙත‍්‍රවල සිදුකර තිබෙනවා. මෙසේ අඩුකර තිබෙන්නේ යුද්ධයක් නොමැති පසුබිමක අතිවිශාල ආරක්‍ෂක වියදම් ප‍්‍රමාණයක් දරන අතරයි. මෙවර ගිය වසරට වඩා මිලියන 18,000කින් ආරක්‍ෂක වියදම් අඩුකර තිබුණත් වැඩිම මුදල් ප‍්‍රමාණයක් ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙන් කරමින් රු. මිලියන 284,000ක් වෙන්කර තිබෙන පසුබිමක් යටතේ මේ රටේ මහජනතාවට බලපාන අත්‍යාවශ්‍ය ක්‍ෂෙත‍්‍රවලට වෙන්කරන මුදල් කපාහැර තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල් මේ වසරේ මිලියන 174,000ක්  තිබී එය රු. මිලියන 160,000 දක්වා රු.මිලියන 13,106ක් කපාහැර තිබෙනවා. ඒ වගේම මෙවර 10%කට ආසන්න කප්පාදුවක්කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල් විශේෂත්වයක් ගන්නවා. පසුගිය වසරේදී මුදල් ඇමතිවරයා සංඛ්‍යා හරඹයක් කරමින් කන්නංගර යුගයේ සිට ඉදිකළ පාසැල් ගොඩනැගිලිවල වටිනාකම වියදමක් වශයෙන් මේ වසරේත් ඇතුළත්කර තිබුණා. එයට එල්ල වූ විරෝධය නිසා රු. බිලියන 121ක් අඩුකර මෙම වසරේ වියදම වශයෙන් රු. බිලියන 46ක් වශයෙන් සංශෝධනය කර තිබුණා. මේ වසරේදී අධ්‍යාපනයට පැහැදිලිවම වෙන්කර තිබෙන්නේ රු. බිලියන 76යි. අයවැය යෝජනාවලින් මෙයට අඩුම වශයෙන් තවත් බිලියන 75ක්වත් එකතු නොවුණොත් මෙරට අධ්‍යාපනයේ සුවිශාල කප්පාදුවක් සිදුවෙනවා.

මේ ආණ්ඩුව අධ්‍යාපනයට මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් ජනවරමක් ලබාගෙන තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කිරීමේ දිශාවට ගමන් කරන බව ප‍්‍රකාශ කර තිබුණා. විවිධ උද්ඝෝෂණ හා බලපෑම් මත ආණ්ඩුව මේ බව ප‍්‍රකාශ කළත් අයවැය යෝජනාවලදී මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.6%ක් දක්වා අඩුකර තිබෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයට රු. බිලියන 163ක් වෙන්කර තිබුණත් මෙයින් මහා මාර්ගවලට යන වියදම අඩුකළ පසු උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉතිරි වන මුදල් සුළු ප‍්‍රමාණයක්. විශ්වවිද්‍යාලවලට සම්බන්ධව තිබෙන විශ්විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ මුදල් රු. මිලියන 44,923 සිට මිලියන 38,854 දක්වා අඩුකර තිබෙනවා. ළමා හා කාන්තා අමාත්‍යාංශයට මේ වසරේදී මිලියන 9765ක් වෙන්කර තිබු මුදල මෙවර මිලියන 2694 දක්වා රු. මිලියන 7,000කින් පමණ කපාහැර තිබෙනවා. මේ කප්පාදු කර තිබෙන මුදල ඇතුළේ විශේෂයෙන් ම ගර්භනී මාතාවන්ට ලබාදෙන දීමනාව ඇතුළු සුභසාධන කප්පාදුව විශාල බවට අපිට සැකයක් තිබෙනවා. විදේශ රැකියාවන්හි නියුතු වූවන් රට විරුවන් සේ හැඳින්වුවද එම අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල රු. මිලියන 1036 සිට මිලියන 694 දක්වා කපාහැර තිබෙනවා.

ග‍්‍රාමීය දේශීය කෘෂි ආර්ථිකයට අදාළව ඉතා විශාල කප්පාදුවක් තිබෙනවා. මෙයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන්කරන මුදල් කපා හැරීම ඉතා බරපතළයි. වැඩිම සේවා නියුක්තියක් තිබෙන්නේ කෘෂිකාර්මික ක්‍ෂෙත‍්‍රයේයි. ලබන වසර වෙනුවෙන් එම අමාත්‍යාංශයේ කප්පාදුව රු. මිලියන 32,807ක් වෙනවා. පසුගිය අවුරුද්දේ වෙන්කර තිබෙන මුදල මිලියන 54,200යි. එය රු. මිලියන 21,393 දක්වා කපාහැර තිබෙනවා. නමුත් 2017 අවුරුද්දේදී රු. මිලියන 54,904ක් දක්වා එම අමාත්‍යාංශයට වෙන් කිරීමට මුලදී පුරෝකථනය කර තිබුණා. ජනගහනයෙන් ලක්‍ෂ 100කට ආසන්න පිරිසකගේ ජීවන මාර්ගය බැඳී තිබෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්කයි. එසේ තිබියදී මෙම මුදල් කප්පාදුව ඉතාම බරපතළ තත්වයන් අතිකරන බව පැහැදිළියි. ඒ වගේම ධීවර, කුඩා කර්මාන්ත, පරිසරය ආදී විවිධ අමාත්‍යාංශවල මුදල් විශාල වශයෙන් කපාහැර තිබෙනවා. අලි මිනිස් ගැටුම වැනි පාරිසරික ප‍්‍රශ්න තිබියදී ජනාධිපතිවරයා යටතේ තිබෙන පරිසර අමාත්‍යාංශයෙන් රු. මිලියන 11,662ක් කපාහැර තිබෙනවා.

විවෘත ආර්ථිකයේ නම පවා වෙනස් කර ‘සමාජ වෙළඳපොළ ආර්ථිකය’ වශයෙන් හඳුන්වමින් මහජනතාවට බලපාන අමාත්‍යාංශවල වියදම් කපාහැර තිබෙන්නේ මේ ආකාරයට. සමාන්‍ය භාෂාවෙන් කියන්නේ නම් මේ ආණ්ඩුවේ දේශපාලන මර්සි කි‍්‍රයාත්මක කරන්නේ මේ වාගේ ජනතාව පිට දැඩි ආර්ථික පීඩනයක් ඇති කරවමිනුයි. මේ තත්වය බරපතළ වෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් වූ ජනවරමට පිටු පාමින් අයවැය ලේඛනය අදාළ මූලික පදනම වන විසර්ජන පනත් කෙටුම්පතින් මේ වගේ තත්වයන් හෙළිවී තිබෙනවා. දූෂණ, වංචා වළක්වා රාජපක්‍ෂ පාලනය විනාශ කළ ජනතාවගේ ආර්ථිකය ඉහළ දැමීම මූලික පොරොන්දු වශයෙන් දී බලයට පත්වූ ආණ්ඩුව කි‍්‍රයා කරන්නේ කෙසේදැයි දැන් පැහැදිළියි. රාජපක්‍ෂ පාලනයේ සිටි මහා පරිමාණ හොරුන් රැුකීමේ පරම පවිත‍්‍ර වුවමණාවෙන් ජනාධිපතිවරයා කරන ලද ප‍්‍රකාශය විසින් වංචා-දූෂණ අවසන් කිරීමේ සාකච්ඡාව අවසන් කර තිබෙනවා. හොරුන් සමඟ යහන්ගත වීම මෛතී‍්‍ර රනිල් පාලනයේ එකම දේශපාලනය බවට පත්වී තිබෙනවා. ජනාධිපතිවරයාගේ වාග් ප‍්‍රහාරයෙන් පළවැනි ඉනිම කි‍්‍රයාත්මක කර, දෙවැනි ඉනිම වශයෙන් පාර්ලිමේන්තු කෝප් කාරක සභාව ඇතුළේ දූෂිතයන් ආරක්‍ෂා කිරීමට කි‍්‍රයා කිරීමෙන් හෙළි වීමෙන් තිබෙනවා.

මේ ආණ්ඩුවට රටේ ආර්ථිකය ගොඩගැනීමේ දැක්මක් හෝ කිසිදු සැලැස්මක් නොමැති බව විසර්ජන පනත් කෙටුම්පතින් පැහැදිළි වෙනවා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේත් මාධ්‍යකරුවන් හැටියට ඔබෙන් ඉල්ලා සිටින්නේත් මේ ආණ්ඩුවට පැවරී තිබෙන ජනවරම ඉටුකළ නොහැකි බව ඔප්පු කර තිබෙන තත්වය රටට හෙළි කරන ලෙසයි. මෙම පාලන තන්ත‍්‍රය වෙනස් කර නව දේශපාලන ආර්ථික පරිවර්තනයකට මේ රට ගරවිම හැර වෙනත් විකල්පයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි අවධාරණය කරනවා. ඒ වෙනුවෙන් මහජනතාව පෙළ ගැස්වීම අපි කරමින් සිටිනවා. ඒ වටා මේ රටේ ජනතාවට එකතු වන ලෙසයි අපි ආරාධනා කරන්නේ.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්,

ජනාධිපතිවරයාගේ වියදම්වලට ඔහු යටතේ තිබෙන වෙනත් ආයතනවල වියදම් ඇතුළත් කර නැහැ. උදාහරණක් වශයෙන් ගතහොත් අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි ආයතනවලට දරන වියදම් වෙනමම සඳහන් වෙනවා. ජනාධිපතිවරයාගේ වියදම් රු. මිලියන 5451 දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව ජනාධිපති ධුරයට අදාල වියදම රු. මිලියන 3060කින් වැඩිකර තිබෙන බවයි ඇත්ත තත්වය.

රු. කෝටි 250ක් වියදම් කර කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් ලබාදී තිබෙන අතර අනෙකුත් වියදම් කප්පාදු කර තිබීම ගැන අවසාන අදහසක් මෛතී‍්‍ර රනිල් පාලනය වසන් කරමින් තිබෙන බව පැහැදිලියි. ජනතාවගේ මුදල් කප්පාදු කිරීමේදී මෛතී‍්‍ර-රනිල් අතර ගැටුමක් නැහැ. ඇමතිවරුන්ට සළකන මුදල් වෙන්කර ගැනීමේදී දෙගොල්ලම එක තැනක ඉන්නවා. අමාත්‍යාංශයේ සංවර්ධන වැඩසටහන් සඳහා සාමාන්‍යයෙන් ඉතිරි වෙන්නේ වෙන්කරන මුදල්වලින් 10%ක් විතර. විශාල වියදමක් දරන්නේ අමාත්‍ය කාර්ය මණ්ඩලයට පඩි ගෙවන්න. අදාල දේශපාලනඥයාගේ ඇමතිකම වෙනුවෙන් විශාල මුදල් නාස්තියක් කරනවා.

රාජ්‍ය ආයතන 19කට අදාළව කෝප් කමිටුවේ වාර්තාවක් නිකුත්කර තිබෙනවා. ඒ වගේම තවත් ආයතන විශාල සංඛ්‍යාවක් සම්බන්ධව විශාල විමර්ශන සංඛ්‍යාවක් සිදුකරමින් තිබෙනවා. ඔබේ ප‍්‍රශ්නයට නිශ්චිතවම අදාල වෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපතිවරයා වශයෙන් සිටි කාලයේ බැඳුම්කර නිකුත්කිරීම් දෙකකදී ඔහුගේ බෑනාගේ සමාගම සුවිශාල ලාභයක් ලැබුවා යයි කියන චෝදනාවයි. කෝප් කමිටුව මේ පිළිබඳව විමර්ශන වාර්තාවක් නිකුත් කිරීමට සූදානමින් සිටිනවා. එය මුළු මහබැංකුවේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් නොවේ. ඒ වගේම සියලූම බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධයෙනුත් නොවේ. මහජන මුදල් සුවිශාල වශයෙන් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වූ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව ආයතන කිහිපයකින්ම පරීක්‍ෂණ පැවැත්වූවා. අග‍්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුවක් මගින් හිටපු මහබැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගම සුවිශාල ලාභයක් ලබා තිබෙන බවත් විශේෂ රාජ්‍ය ආයතනයකින් මේ පිළිබඳව පරීක්‍ෂා කළ යුතු බවත් නිර්දේශ කර තිබෙනවා. අගමැතිවරයාගේ වාර්තාවම අනුව තමයි, මෙම වගකීම විශේෂයෙන් කෝප් කාරක සභාවට පැවරුණේ.

කෝප් කාරක සභාව එම වගකීම අනුව 7වැනි පාර්ලිමේන්තුවේදී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කළ විමර්ශන වාර්තාවත් අග‍්‍රාමාත්‍යවරයාගේ කමිටුව මගින් ඉදිරිපත් කළ වාර්තාවත් 2015 සැප්තැම්බර් මස පත්කළ වර්තමාන කෝප් කමිටුව සිදුකළ විමර්ශන වාර්තා මතත් වෙනත් කරුණුත් මත පදනම් වී අවසන් වාර්තාවක් නිකුත් කිරීමට සූදානම්. මෙහි පළමු කෝප් කමිටුව දින 14ක් මේ පිළිබඳව පරීක්‍ෂණ කර තිබුණා. වර්තමාන කෝප් කමිටුව දින 10ක් මේ පිළිබඳ පරීක්‍ෂණ කර තිබෙනවා. වර්තමානයේ සත්‍ය වශයෙන්ම කෙරෙන්නේ සිදුකරන ලද පරීක්‍ෂණ වාර්තා පිළිබඳව නැවත පරීක්‍ෂා කර බැලීමක්. කොටින්ම පරීක්‍ෂණ වාර්තා 3ක් පිළිබඳ පරීක්‍ෂණත් අලූත් තත්වයන් යටතේ මතුවූ පරීක්‍ෂණත් වශයෙන් අසීමිතව පරීක්‍ෂා කර තිබෙනවා. ඔක්තෝබර් මස 25වැනි දින හෝ එදිනෙන් පටන් ගන්නා පාර්ලිමේන්තු සතිය තුළ මේ පිළිබඳ අවසන් වාර්තාවක් නිකුත් කිරීමට කමිටු සාමාජිකයින් පූර්ණ එකඟතාවකට පැමිණියා. ඒ වාර්තාව වගේම ඒ සම්බන්ධ නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කරීමට සියලූ දෙනා එකඟ වුණා. ඒ අනුව සභාපතිතුමා සහ ලේකම් මණ්ඩලය විසින් ඉදිරිපත් කළ පළවැනි කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මාසයේදී කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

එය තවත් සංක්‍ෂිප්ත කර දෙවැනි කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අදාළව පිටුවෙන් පිටුව සාකච්ඡුා කිරීම පසුගිය 20 වැනිදා ආරම්භ කළා. බැඳුම්කර වංචාවක් සිදුවුණාද, නැද්ද යන්න පිළිබඳව පැහැදිළිවම සංවාදයක් තිබුණා. වංචාවක් සිදුවුණා යන මතයත් වංචාවක් සිදුවී නැහැ යන මතයත් වශයෙන් එකතු කළ නොහැකි වෙනස් මත දෙකක් තිබෙනවා. සභාපති තුමා සහ ලේකම් මණ්ඩලය ඉදිරිපත් කරන ලද දෙවැනි කෙටුම්පත තුළ වංචාව සම්බන්ධයෙන් තිබෙන නිර්දේශ සහ දත්ත ඇතුළත් කිරීමට කමිටුවේ බහුතරය එකඟ වුණා. තවත් මන්තී‍්‍රවරුන් පිරිසක් එම වාර්තාව පිළි නොගන්නා බව වෙනත් කරුණු මත වාර්තාවක් සකස් කිරීම අවශ්‍ය  බවත් ප‍්‍රකාශ කර තිබෙනවා. කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කමිටු සාමාජිකයන්ගේ අදහස්වලට ඉඩකඩ ලබාදිය යුතු නිසා අවසන් වාර්තාව සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙමින් තිබෙනවා. මෙයින් පැහැදිළි වෙන්නේ වාර්තා දෙකක් හෝ වැඩි ප‍්‍රමාණයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි. බැඳුම්කර සිද්ධියේදී හිටපු මහබැංකු අධිපතිවරයා සහ ඉහළ නිලධාරීන් මූල්‍ය වංචාවක් සිදුකළාය යන්න තහවුරු කෙරෙන වාර්තාවකුත් එසේ පාඩුවක් සිදුවී නැති බව හෝ පාඩුවක් සිදුවී තිබුණද අදාල චූදිතයින් එයට වගකිව යුතු නැති බව සඳහන් වාර්තාවකුත් ඉදිරිපත් කෙරෙන බව පැහැදිළියි. සමහර විට මේ දෙකටම අදාළ නැතිව මේ කිසිදු පුද්ගලයෙක් වැරදිකරුවන් නොවී ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ඬේවිඞ් රිකාඩෝ වැරදිකරු වශයෙන් නම් කර වාර්තාවකුත් එළිදැක්වීමේ හැකියාවකුත් තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ඉතා වගකීමෙන් මේ රටේ දූෂණයට එරෙහිව කි‍්‍රයා කරනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දූෂණයටත් ඒවගේම එක්සත් ජාතික පක්‍ෂය විසින් කරන දූෂණයටත් මේ දෙගොල්ලම එක්වී කරන දූෂණයටත් විරුද්ධව පක්‍ෂයක් හැටියට කෝප් කාරක සභාව තුළදීත් ඉන් පිටතදීත් ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකරන බවත් ඒ වෙනුවෙන් කි‍්‍රයා කරමින් සිටින බව අවධාරණය කරනවා.