සරසවි සිසුන්ගේ මරණය-පොලිස් කොමිසමේ අවධානයට

සරසවි සිසුන්ගේ මරණය-පොලිස් කොමිසමේ අවධානයට

October 23, 2016   01:57 pm



යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව පොලිස් කොමිසමේ අවධානය යොමුව ති‍‍බේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී පොලිස් කොමිසම රැස්වී සාකච්ඡා කරන බව කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිද්ධිය පිළිබඳව මේ වන විට විමර්ශන සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් විමසීමක් සිදුකර ඇති බව ද වාර්තා ‍වේ.

අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිස් කොමිසම නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේය.
 
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු මත සැකපිට පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මේ අතර මියගිය සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ අවසන් කටයුතු අද (23) පෙරවරුවේ සිදුකර ති‍බේ.

ඒ අනුව කිළිනොච්චි භාරතිපුරම් ප්‍රදේශයේ 23 හැවිරිදි නඩරාසා ගජන් නමැති තරුණයාගේ අවසන් කටයුතු භාරතීපුරම්, දකුණ පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මියගිය අනෙක් තරුණයාගේ අවසන් කටයුතු හෙට (24) දිනයේ සිදුකිරීමට නියමිතය.