සරසවි සිසුන් දෙදෙනාගේ මරණය - අපක්ෂපාතී පරීක්ෂණයක් ජනපති ඉල්ලයි

සරසවි සිසුන් දෙදෙනාගේ මරණය - අපක්ෂපාතී පරීක්ෂණයක් ජනපති ඉල්ලයි

October 22, 2016   12:38 pm




යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණයක් සිදුකර එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව මේ බව සඳහන් කරයි.

අදාළ සිසුන් දෙදෙනා මරණය සම්බන්ධ පුවත පිළිබඳ තමා ඉතා සංවේගයට පත්වු බවද ජනාධිපතිවරයා  ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා  මෙහිදී පවසා ති‍බේ.

එමෙන්ම අදාළ සිද්ධියෙන් මියගිය සිසුන් දෙදෙනාගේ මව්පියන් හට වන්දි මුදල් ලබාදීමට ද කටයුතු ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මේ අතර යාපනය කන්කසන්තුරේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව ඔවුන් දින  14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්වරන් මහතා නියෝග කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30ට පමණ මෙම සිසුන් දෙදෙනා  කොකුවිල් දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වුයේ ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට යතුරුපැදිය නතර කරන ලෙස අණකළ ද යතුරුපැදිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔවුන් දෙසට වෙඩි තබා ඇති බවයි.

යතුරුපැදිය පදවාගෙන ගිය සිසුවාගේ හිසට වෙඩි වැදීම හේතුවෙන් යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අසල තාප්පයක් ගැටීමෙන් සිදුවු අනතුරෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද(22) දිනයේ යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා හමුවට ඉදිරිපත් කළේය.

 මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව හෙළා දකින බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

 විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඉන් අනතුරුව පොලිස්පතිවරයා අමතා සිය අප්‍රසාදය පළ කර ඇති බව ද දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ආර්.සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.