සිසුන් දෙදෙනා මියගිය සිද්ධියට පොලීසියේ 5ක් ඇතුළට යයි

සිසුන් දෙදෙනා මියගිය සිද්ධියට පොලීසියේ 5ක් ඇතුළට යයි

October 22, 2016   10:24 am




යාපනය, කන්කසන්තුරේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව ඔවුන් දින  14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්වරන් මහතා නියෝග කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30ට පමණ මෙම සිසුන් දෙදෙනා  කොකුවිල් දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වුයේ ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට යතුරුපැදිය නතර කරන ලෙස අණ කළද යතුරුපැදිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔවුන් දෙසට වෙඩි තබා ඇති බවයි.

යතුරුපැදිය පදවාගෙන ගිය සිසුවාගේ හිසට වෙඩි වැදීම හේතුවෙන් යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අසල තාප්පයක් ගැටීමෙන් සිදුවු අනතුරෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද(22) දිනයේ යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා හමුවට ඉදිරිපත් කළේය.

 මේ අතර අදාළ සිද්ධිය  දැඩිව හෙළා දකින බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

 විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඉන් අනතුරුව පොලිස්පතිවරයා අමතා සිය අප්‍රසාදය පළ කර ඇති බව ද දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ආර්.සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

 මේ අතර යාපනය සහ අවට ප්‍රදේශවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වෙයි.

අතිරේක බට කණ්ඩායම් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලාධාරියෙකු අද දෙරණ සමග සඳහන් කළේය.

 මේ අතර සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.