ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනයට අත්සන් තැබෙයි

ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනයට අත්සන් තැබෙයි

October 21, 2016   12:08 pm




ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමට අදාළ ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්සන් තබා තිබේ.

 අද(21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති අතර එය අද මධ්‍යම රාත්‍රී සිට බලපැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව සඳහන්ය.

ගැසට් පත්‍රය පළවීමෙන් පසු  උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට එම ඖෂධ අලෙවි කිරීම  කිසිඳු නිෂ්පාදකයෙකු ආනයනකරුවෙකු, වෙළෙන්දෙකු හෝ ඖෂධවේදියෙකු විසින් නොකළ යුතු වෙයි.

 ගැසට් පත්‍රයේ සඳහන් විදිවිධාන උල්ලංඝණය කළහොත් 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 132 වන වගන්තිය යටතේ එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරෙනු ඇත.

එමෙන්ම ප්‍රකාශයට පත් කර ඇති ඖෂධ 48ට අදාළ උපරිම සිල්ලර මිල සෑම සිල්ලර අලෙවිසැලකම ප්‍රදර්ශනය කිරීමේ වගකීම සෑම නිෂ්පාදකයෙකු, වෙළෙන්දෙකු, ආනයනකරුවෙකු හෝ ඖෂධවේදියෙකු සතු වන බව සඳහන්ය.