උඩුගම රෝහලට එන රෝගීන්-ජනතාව දුෂ්කරතාවයක

උඩුගම රෝහලට එන රෝගීන්-ජනතාව දුෂ්කරතාවයක

October 1, 2016   12:24 pm




අයාලේ යන සුනඛයින් හේතුවෙන් උඩුගම මූලික රෝහලට පැමිණෙන රෝගීන් සහ ජනතාව දුෂ්කරතාවට පත්ව සිටියි.

ඊයේ(30) පස්වරුවේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීයෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු රෝහල් පරිශ්‍රයේදී සුනඛයෙකු සපා කා ඇති බව වාර්තා වෙයි.

මෙය දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක් වන අතර ජනතාව පවසන්නේ මීට අවශ්‍ය ක්‍රියාමාර්ග රෝහල් බලධාරීන් විසින් ගෙන නොමැති බවයි.

මේ පිළිබඳව උඩුගම මූලික රෝහලේ පරිපාලන නිලධාරී කේ.කේ. ජාගොඩ මහත්මියගෙන් අද දෙරණ විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ මීට පෙර අයාලේ යන සුනඛයින්ගේ ගැටළුව උග්‍ර ලෙස පැවැතිය ද මේ වන විට එය විසදීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ අදාළ පුද්ගලයා සපා කා ඇත්තේ රෝහල් පරිශ්‍රයේ සිටි සුනඛයෙකු නොව බාහිර පුද්ගලයෙකු සමග පැමිණි සුනඛයෙකු බව රෝහල් පරිපාලන නිලධාරී කේ.කේ. ජාගොඩ මහත්මිය පැවසුවේය.