අපජල ව්‍යාපෘතිය ප්‍රමාදවීම ගැන වාර්තාවක් ඉල්ලයි

අපජල ව්‍යාපෘතිය ප්‍රමාදවීම ගැන වාර්තාවක් ඉල්ලයි

October 1, 2016   12:14 pm


මහ කොළඹ, අපජල ව්‍යාපෘතිය ප්‍රමාදවීම පිළිබඳව හේතු දක්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නියෝග කර තිබේ.

අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂ කුමුදිනී සමරසිංහ මහත්මියට අමාත්‍යවරයා විසින් එම නියෝගය ලබා දී ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මහ කොළඹ අපජල ව්‍යාපෘතියේ බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් මාස 04ක පමණ කාලයක සිට නැවතී ඇති බව සඳහන්ය.

අදාළ අපජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී හානි වන නිවාස අතර අනවසර ඉදිකිරීම් හා නිශ්චිත හිමිකාරීත්වයක් නොමැති නිවාස පිහිටා තිබීම හේතුවෙන් එම නිවාස වලට වංදි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන තෙක් තාවකාලිකව ව්‍යාපෘතිය ඉදිකිරීම් නවතා දැමීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් එම ගැටළු වලට විසදුම් ලබාදී කඩිනමින් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කරන ලෙසත්, ව්‍යෘපාති ආරම්භ කිරීමට පෙර මෙවැනි ගැටළු හදුනා ගත යුතු බවත් ෆයිසර් මුස්තාෆා  අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් අපජල පොම්පාගාර 04ක් ඉදිකිරීම, දැනට පවතින අපජල පොම්පාගාර 07ක් නවීකරණය කිරීම ඇතුළු කාර්යන් රැසක් සිදු කිරීමට නියමිතය.