නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ලැබෙයි
October 1, 2016 07:37 am
ලබන වසරේදී නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් මෙරට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පවසයි.
නවසීලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා අතර පැවති සාකච්ඡාවකදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
අද(01) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරුන් දෙපල අතර නිල සාකච්ඡා පැවැති බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේය.
මෙම සාකච්ඡාවලට ප්‍රථම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස පිළිගැනීමේ නිල උත්සවය ඔක්ලන්ඩ් නුවර නවසීලන්ත රාජ්‍ය මන්දිරයේදී පවත්වා තිබේ.
ඒ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරුන් දෙපල අතර සාකච්ඡා පැවැති අතර එහිදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පවසා ඇත්තේ යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලනමය වශයෙන් වර්ධනය වී ඇති බවයි.
එමෙන්ම නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉදිරි වසර කිහිපයේදී අවශ්‍ය පියවර ගන්නා බව ද ජෝන් කී මහතා පවසා ඇති බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕක්ලන්ඩ් නුවර පිහිටි ජාතික සත්වෝද්‍යානය බැලීමටද ගොස් තිබේ.
එහිදී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා රජය විසින් නවසීලන්ත රජයට ප්රදානය කෙරෙනු අන්ජලී නැමැති ඇත් පැටවා නැරඹීමට ද ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය කාර්යාලය කිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහත පරිදි වෙයි,
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සම්බන්ධතා ශක්තිමත් කරලීම සහ අනාගතයේ ද්විපාර්ශවික සැලසුම් වඩාත් කඩිනමින් හා පුළුල් අන්දමින් ක්‍රියාත්මක කරලීම උදෙසා දෙරට තුළ මහකොමසාරිස් කාර්යාල ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන්හිදී තීරණය කෙරිණි.
ඔක්තෝබර 01 වන දා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර රාජ්‍ය මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වමින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යාපන, කෘෂිකර්ම, ධීවර, සංචාරක, ගුවන් සේවා සහ විශේෂයෙන්ම කිරි ගොවිපොල පාලනය යන ක්ෂේත්රයන්හි අනාගත අභියෝගයන්ට සරිලන පරිදි සංවර්ධනය කරලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙත තම දැනුම, අත්දැකීම් සහ සහයෝගීතාව ලබා දීමට ක්‍රියා කරන බවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති නව ගමනට නවසීලන්තයේ ආශීර්වාදය පමණක් නොව සහයෝගය ද පූර්ණ වශයෙන් හිමිවන බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභපැතුම් පිරිනැමූ වික්‍රමසිංහ මහතා ඉන්දීය සාගරයේ ආර්ථික, වෙළඳ සහ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කරලීමේ සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.
සත්ව පාලන ගොවිපොලවල් නවීන තාක්ෂණය ඔස්සේ දියුණු කොට කිරි ගොවියන්ට වැඩි ආදායම් ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, රජයේ බලාපොරොත්තුව වයස අවුරුදු 1 සිට 5 දක්වා දරුවන් සැමටම සතියකට නැවුම් කිරි වීදුරු 5 ක් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීම බව පැවසීය.
මේ ක්ෂේත්රය සම්බන්ධව නවසීලන්තයේ අත්දැකීම්, තාක්ෂණය සහ කළමණාකරණය ඉතා ඉහළ තලයක පවතින හෙයින්, ඊට උපරිම සහය හා අනුග්‍රහය දැක්වීමට නවසීලන්තය ඉදිරිපත් වන බව ජෝන් කී මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයට හවුල් වන ගොවීන් ප්‍රමාණය වැඩිකරලීමටත්, කිරි ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමටත්, නවීන පහසුකම් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරි ගොවිපොලවල් අලූතෙන් ඇති කිරීමටත් මෙමගින් අවකාශ ලැබෙන බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මත්තල ගුවන් තොටුපල ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. හම්බන්තොට නාවික සහ ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා දැනටමත් චීන ආයෝජකයන් ඉදිරිපත් වී ඇති බව මෙහිදී ශ්‍රී ලංකා නියෝජිතයෝ පෙන්වා දුන්හ. ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස මත්තල භාවිත කිරීමෙන් ඒ සංවර්ධන ක්‍රියාදාමය වඩාත් පුළුල් කර ගත හැකි බව දෙපාර්ශවයේ පිළිගැනීම විය.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට අනාතයට මුහුණදීමේ ශක්තිය ඇතිකරලීමේ මාර්ගයක් ලෙස ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඉංග්‍රීසි භාෂා පුහුණුකරවන්නන් ලෙස ක්‍රියා කළ හැකි පුද්ගලයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද පැවසීය. ඒ ක්‍රියාවලියේ දී නවසීලන්තය සහය ලබා දීමට සූදානම් බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පැවසීය. දැනටමත් මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල මෙවන් පුහුණු කාර්යයන් උදෙසා නවසීලන්තයේ සහය ලබා දෙන බව ද ජෝන් කී මහතා පෙන්වා දුන්නේය.
යුරෝපීය මත්ස්‍ය තහනම ඉවත් කිරීමත් සමගම ශ්‍රී ලංකාවේ මාළු අස්වැන්න වැඩි කරගත යුතුව ඇති බැවින්, ධීවර කර්මාන්තයේ ප්රගමනය උදෙසා නව ක්‍රියා මාර්ග රැසක් ගත යුතුව ඇති බව ද මෙහිදී දෙපාර්ශවයේ අවධානයට ලක් කෙරිණි. ඒ සම්බන්ධ වැඩි දුර කරුණු අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යතුමන් ප්රමුඛ නිලධාරීන් පිරිසකට නවසීලන්තයේ සංචාරය කිරීමට පැමිණෙන ලෙස ජෝන් කී මහතා ආරාධනා කළේය.
ශ්‍රී ලංකාවේ කකුළුවන් සහ පොකිරිස්සන් මුළු මහත් ලෝකය පුරාම ප්‍රසිද්ධියක් උසුලන බැවින්, එම මසුන් වගා කරලීමේ කටයුතු සිදු කිරීමෙන් නව ආදායම් මාර්ග ගණනාවක් ධීවර ෙක්ෂ්ත්රයට පාදා ගත හැකි බව පැවසූ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් නව ක්‍රමවේද සහ තාක්ෂණය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට හැකි බව ද පෙන්වා දුන්නේය.
කොළඹ ක්‍රමය වැඩපිළිවෙල නව සමාජයට හා නව යුගයට ගැලපෙන අයුරින් නවීකරණය කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි. පුද්ගලික අංශයේ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ද කොළඹක්රමය ඔස්සේ සහය ලබා දීමේ හැකියාව සම්බන්ධව ද අදහස් හුවමාරු කර ගැනිණි.ඉන්දීය හා ශාන්තිකර කාලාපීය දේශපාලන සහ සමාජයීය ප්රවණතාවන් පිළිබඳව ද මෙහිදී දෙපාර්ශවය අදහස් දැක්වූහ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඇතුළුව ජාතික සංහිදියා වැඩපිළිවෙළ නවසීලන්තයේ ඇගැයීමට ලක්වන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ඔස්සේ සාමකාමී සංවර්ධිත රාජ්‍යයක් කරා නිවැරදි ගමන් මගකට අවතීර්ණ වී ඇති බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පැවසීය.
ඔක්තෝබර 01 වන දා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර රාජ්‍ය මන්දිරයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසු ජනමාධ්‍ය අමතා ජෝන් කී මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කෘෂිකර්ම, සත්ව ගොවිපොල, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර ගණනාවක පමණක් නොව රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දීමට නවසීලන්තය කටයුතු කරන බවය.
කලාපීය හා ජාත්‍යන්තර සංසඳවලදී ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ක්‍රියාශීලී දායකත්වය අගය කළ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා දෙරට අතර එළැඹෙන එකඟතා සහ ගිවිසුම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීම දෙපාර්ශවයේම අභිප්‍රාය බව ද පැවසීය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ ලෝකයේ විවිධ රටවල් සමග ද්විපාර්ශවික ගිවිසුම් වලට එළැඹිම රටක සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් වන බවය. එවැනි ගිවිසුම් සියයට සියයක්ම ක්‍රියාත්මක කරලීමෙන් අදාළ පාර්ශවයන් දෙකටම ජයග්‍රාහී ප්‍රතිඵල අත්පත් කර ගත හැකි බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
නව ව්‍යවස්ථා සම්පාදන කාර්යයේදී ශ්‍රී ලංකාව දැනට නවසීලන්තයේ සාර්ථකව ක්‍රියාත්මක වන මිශ්‍ර අනුපාත ක්‍රමය පිළිබඳව අවධානය යොමු කර ඇති නිසා, එම ක්‍රමය පිළිබඳව ශ්‍රී ලාංකේය ව්‍යවස්ථා සම්පාදකයින් දැනුවත් කරලීමේ වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද දෙරටේ අග්‍රාමාත්‍යවරු පෙන්වා දුන්හ. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රීවරුනට නවසීලන්තයට පැමිණ අධ්‍යයන චාරිකාවක යෙදීමේ අවකාශය සැලසෙන අතර, නවසීලන්ත මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවට පැමිණ වැඩ මුළු කීපයක් සංවිධානය කිරීමට ද කටයුතු කරනු ඇත.දේශීය වෘක්ෂලතා ආරක්ෂා කරලීම සහ වන සත්ත්ව සුභසාධනය හා සංරක්ෂණය සම්බන්ධව නවසීලන්තයේ විශේෂඥ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙහිදී නවසීලන්ත මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා පැවසූයේ ඈත අතීතයේ දකුණු ඉන්දීය කලාපයේ සිට මැද පෙරදිග දක්වාම රටවලට ආහාර සැපයීමේ කේන්ද්‍රස්ථානය වූයේ ශ්‍රී ලංකාව බවය. ඒ නිසාම ශ්‍රී ලංකාව ආසියාවේ ධාන්‍යාගාරය ලෙස විරුදාවලී ලත් බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 2050 වන විට පෙර කී රටවල ජනගහණයෙන් වැඩි පිරිසකට අවශ්‍ය ආහාර හා සේවා ලබා දීමේ කලාපීය මෙහෙයුමෙහි ප්‍රධාන කොටස්කරුවෙකු වී යළිත් අතීත අභිමානය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට කැපවී කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.
නවසීලන්තයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ස්ටීවන් ජොයිස් (Steven Joyce), ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නාදන් ගයි (Nathan Guy), වෙළඳ අමාත්‍ය ටොඩ් මැක්ලේ (Todd McClay), අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී වේන් ඊගසන් (Wayne Eagleson), විදේශ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක ටහා මැක්ෆර්සන් (Taha Macpherson), ප්‍රධාන සන්ධාන නිලධාරිනී ජොඅන්නා කෙම්ප්කර්ස් (Joanna Kempkers), විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු සහ දකුණු ආසියානු කලාපීය කළමණාකරු ස්ටීවන් හැරිස් (Stephen Harris), යන මහත්ම මහත්මීන් නවසීලන්තය නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂිකා සාවිත්‍රී පානබොක්කේ යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.