දින නියමයක් නොමැතිව සාර්ක් කල් යයි
October 1, 2016 07:21 am
නොවැම්බර් මස 09-10 යන දෙදින තුළ පකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ 19වන සාර්ක් සමුළුව කල්තැබීමට තීරණය කර තිබේ.
පකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවරදී මෙවර සමුළුව පැවැත්වීමට දින නියම කර තිබුණද,මෙම සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බැවින් එය දින නියමයක් නොමැතිව කල්තැබූ බව පකිස්ථාන රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.
මේ අතර ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයද සමුළුව කැඳවීම පිණිස සියලු රටවල එකඟත්වයක් නොමැති බැවින් ශ්‍රී ලංකාවට එයට සහභාගි වීමේ හැකියාවක් නොමැති බව පෙන්වාදෙන ලදී.
ජම්බුකාශ්මීර ප්‍රදේශයේ ඉන්දියානු පාලිත කඳවුරකට පකිස්ථාන හමුදා විසින් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පසුව ඉන්දියාව හා පකිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මතභේදකාරී තත්ත්වයක් උද්ගත විය.
මේ අනුව සාර්ක් කලාපීය බලවතා වශයෙන් ඉන්දියානු රජයද පකිස්ථානයේ පැවැත්වෙන සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් මන්දෝත්සාහි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මෙන්ම ඇෆ්ගනිස්ථානය හා භූතානයද සහභාගි නොවන වාතාවරණයක් පැවතිණි.
පකිස්ථාන විදේශ අමාත්‍යංශය තවදුරටත් නිවේදනය කර ඇත්තේ සමුළුව පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි.
මේ අතර මෙවර සාක් සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් කලාපයේ රට වල අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකාව පවසයි.
මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාකිස්ථානයේ මෙවර සාක් සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් හටගෙන ඇති වාතාවරණය පිළිබඳ කණගාටු වන බවයි.
19 වන සාක් සමුළුව ලබන නොවැම්බර් මස 09 සහ 10 යන දෙදින තුළ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර දී පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
කෙසේවෙතත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින මතභේදකාරී තත්ත්වය හේතුවෙන් මෙවර සමුළුවට සහභාගී නොවීමට ඉන්දියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ භූතානය යන රටවල් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
පවතින තත්ත්වය තුළ සාක් සමුළුවට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ කලාපීය සාමය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාමාජික රටවල් සිය අවදානය දැඩි ලෙස යොමු කළ යුතු බවයි.
කලාපීය රට වල සුහඳතාවය සහ සහයෝගීතාවය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය යුතු බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
කුමන ආකාරයක ත්‍රස්ථවාදයක් වුවද ශ්‍රී ලංකාව විසින් හෙළා දකින අතර ගැටළුකාරී තත්ත්වයන්ට ස්ථිරසාර විසඳුම් ලබාගැනීම සිදුවිය යුතු බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මේ අතර ඉන්දියාව සහ පකිස්ථාන අතර දැනට පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව දේශපාලන විචාරක ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.