සෑම ජන කොටසක් කෙරෙහිම අවධානය යොමු කරන්න

සෑම ජන කොටසක් කෙරෙහිම අවධානය යොමු කරන්න

September 30, 2016   09:55 pm



පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පැන නැගී ඇති පානීය ජල ගැටළුවට හදිසි විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී පීඩාවට පත් සෑම ජන කොටසක් කෙරෙහිම අවධානය යොමු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

වියළි කාලගුණය සමග පැන නැගී ඇති ගැටළු සහ ලබාදිය හැකි විසඳුම් පිළිබඳ අද(30) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට ජලසම්පාදන, වාරිමාර්ග, මහවැලි, සෞඛ්‍ය හා වනජීවී ඇතුළු සියලු අංශවල අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සහභාගී වී තිබේ.

පානීය ජල හිඟයට විසඳුම් ලබාදීම මෙන්ම පැතිර යන රෝගාබාධ වළක්වා ගැනීම හා අනපේක්ෂිත රෝගී තත්ත්වයක දී අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වෛද්‍ය හා ජංගම සේවා පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

ජලය සොයා ගම්වදින වන සතුන්ගෙන් ඇති වන පීඩා අවම කරගැනීමට අදාළ සියලු ආයතන සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කර ඇත.

එමෙන්ම ඉදිරියේ දී මෙවැනි ස්වභාවික ව්‍යසනවල දී පීඩාවන් අවම කරගැනීම සඳහා පුළුල් ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන් බව ජ‍නාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.