මහ බැංකු අධිපති තනිවම කෝප් කමිටුවට කැඳවයි

මහ බැංකු අධිපති තනිවම කෝප් කමිටුවට කැඳවයි

August 29, 2016   08:34 am




ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා තනිවම කැඳවීමට කෝප් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව මෙම සතියේදී මහ බැංකු අධිපතිවරයා තනිවම කෝප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට නියමිතය.

මහ බැංකු අධිපතිවරයා තනිවම කෝප් කමිටුව හමුවට කැඳවන පළමු අවස්ථාව ද මෙය වෙයි.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී මහ බැංකු අධිපතිවරයා තනිවම කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව විසින් විමර්ශන සිදු කරන අතර මීට පෙර අවස්ථාවන් වලදී ද මහ බැංකු අධිපතිවරයා මෙම කමිටුව හමුවට කැඳවනු ලැබීය.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනෙකු, සහකාර අධිපතිවරුන් 05 දෙනෙකු , ප්‍රධාන විගණන නිලධාරීන් ඇතුළු නිලධාරීන් 26 දෙනෙකු මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව හමුවට මීට පෙර කැඳවා තිබේ.

කෙසේ වෙතත් මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීම සඳහා තවත් සති කිහිපයක් ගත වනු ඇති බව කෝප් කමිටුවේ නියෝජිතයෙකු සඳහන් කළේය.