මහින්දට රට දාලා යන්න වෙනවා
August 28, 2016 10:32 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය ඉතා සාර්ථක සැමරීමට බලාපොරොත්තු වන කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් පවසයි.
කොළඹදී අද(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර උත්සවය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියලු කටයුතු සම්පාදනය කරමින් යන බවයි.
එමෙන්ම පක්ෂ සංවත්සරයට අති විශාල ජනතාවක් රැගෙන ඒමට කටයුතු කරන බවත්, අත ලකුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එම්.එච්.මන්සීල් මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම මේ අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම හිටපු මන්ත්‍රී ඉන්දික කෝරළගේ මහතා ප්‍රකාශ කර සිටියේ තමන්ගේ ගමට තවමත් ජල අර්බුද පවතින බවත්, පෙර රජය පැවති කාලය තුළ ඒ පිළිබඳව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා දැනුම්වත් කළද ජලය අවශ්‍යනම් මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයෙකු වන ලෙස ඒ මහතාගේ පුතා පැවසූ බවයි.
මෙවැනි වටපිටාවක් තුළ ඔවුන් කටයුතු කළ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා සැළකුවේ මෙවැනි ආකාරයකට බවත් ඔහු පෙන්වා දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සහ ගන්නේ විමල් වීරවංශ වැනි පුද්ගලයින් බවත්, අද රටේ ජනාධිපති තමන්ගේ ගමේ වූවද එදා ජලය ටිකක් නැති ගමේ ජනතාවට ඔවුන්ට සැළකුවේ මෙවැනි ආකාරයකට බවත් ඒ මහතා පෙන්වා දී ඇත.
එමෙන්ම ඒ අවස්ථාවට එක් වු කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සමරනවා යැයි දැන ගත් විට සමහර පිරිස්වලට මෙන්ම පක්ෂ දෙකඩ කිරීමට අවශ්‍ය අයගේ කකුල් වේවිලීමට පටන් ගෙන ඇති බවයි.
එමෙන්ම ඔහු කියා සිටියේ ගීතා කුමාරසිංහ කියූ පරිදි කෝටි ගණන් පිරිස් නොව පසුගිය දින පැවති පාද යාත්‍රාවට සහභාගී වූ පිරිස මෙන් පස් ගුණයක ජනතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට රැගෙන එන බවයි.
ඒ තත්ත්වය මහින්ද රාජපක්ෂ දන්නා නිසා තමන් පක්ෂ සංවත්සරයට සහභාගී නොවන බවත්, තමන් විදේශ ගතවන බවත් පවසා ඇති බවද ඒ මහතා පවසයි.
එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මහින්ද රාජපක්ෂට රට හැරලා යන්න වැඩ වී ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දියුණුව ඔහුට දරා ගැනීමට නොහැකි වී ඇති බවත්ය.
එපමණක් නොව පෞද්ලික ඩීල් දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොකර දා ගන්නා ඩීල් එකක් පෞද්ගලිකව දා ගන්නා ලෙසත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාට රට හැර යාමට සිදු වන බවත් ඒ මහතා පවසයි.