අවුරුදු 5ක් වනතුරු රට වටේ ගියත් මේ ආණ්ඩුව පෙරළන්න බෑ

අවුරුදු 5ක් වනතුරු රට වටේ ගියත් මේ ආණ්ඩුව පෙරළන්න බෑ

July 26, 2016   09:22 pm


ඉහළ සිටි පිරිසක් අද පාරට බැස ඇති බවත්,පාරට බැස්ස පමණින් ආණ්ඩු පෙරළිය නොහැකි බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

තමන් ඇතුළු පිරිසද මේ ආකාරයෙන් සෑහෙන කාලයක් පාරට බැස සිටි බව අමාත්‍යවරයා කියා සිටියේ අද(26)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

අවුරුදු 5ක් වෙනතුරු රට වටේ ගියද මෙම ආණ්ඩුව පෙරළීමට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය තමාගේ බව මහින්ද රාජපක්ෂ මහතා කිය කියා ගියත් එය එසේවීනම් ඒ දිනවල පැවති රජය විසින් හඳේ පවා කටවුට් ගසන බව ඔහු කියා සිටියේය.

එහෙත් මෙම රජය ගෞරවය යා යුත්තේ කාටද නොව රටට අත්වන සෙත කුමක්ද යන්න පිළිබඳ වැඩියෙන් අවධානය යොමුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පෝට් සිටි ව්‍යාපෘතිය"ෆයිනෑන්ස් සිටි"නමින් නම් කොට රටට වැඩදායි ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක වන බවත්,පසුගිය රජය කාලයේ රටේ ඉඩම් සින්නක්කරයට චීනයට ලියා දුන්නද මේ රජය විසින් එවැන්නක් නොකරන බවද ඔහු අවධාරණය කළේය.

අවුරුදු 18-35 පිරිසට ඉදිරියේදී විදුලි සංදේශ බදු අඩු කොට අන්තර්ජාල පහසුකම්,විදුලි සංදේශන සේවා ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.