මෛත්‍රී උනන්දුවුණා තමයි-මොරගහකන්ද මගේ වැඩපිළිවෙළක්

මෛත්‍රී උනන්දුවුණා තමයි-මොරගහකන්ද මගේ වැඩපිළිවෙළක්

July 26, 2016   05:51 pm


මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මහින්ද චින්තනයේ පැවති තමාගේ වැඩපිළිවෙළක් බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එයට යුද්ධය පැවති වකවානුවේ යුද්ධයට විශාල මුදලක් වැයකරද්දී පවා පළමුවෙන් මුදල් වෙන්කරනු ලැබුවේ අයවැයෙන් බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඉන්පසු චීන රජයේ ආධාර මත වැඩකටයුතු ආරම්භ කළ බවත්,බැම්ම බැඳීමේ කටයුතු ආදිය සිදුකර පැවති බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අද(26)නෙළුම් මාවත ඔහුගේ කාර්යාලයේ පැවති ඩී.වී උපුල් වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවෙන් පසු එම පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනි.

එම වැඩපිළිවෙළට අමාත්‍යවරයෙකු ලෙස මෛත්‍රී බොහෝ උනන්දුවුණු බවත්,එය පැහැදිලිව කිව හැකි බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

හෙට දිනයේ දළඳා මාළිගයට ගොස් ආගමික වතාවත්වල යෙදී අනතුරුව මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා පසුදිනයේ පාදයාත්‍රාව ආරම්භ කරන බව ඔහු පෙන්වා දුන්නේය.

රැස්වීම් පවත්වන්නට කිසිදු ක්‍රීඩාපිටියක් වෙන්කරගන්නට නොමැති බවත්,බොහෝවිට රැස්විය හැකිවෙනු ඇත්තේ ගාලුමුවදොර පිටියේ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.