කටුනායක ගුවන්තොටුපළ පැය 8 බැගින් මාස 3ක් වසාදමයි

කටුනායක ගුවන්තොටුපළ පැය 8 බැගින් මාස 3ක් වසාදමයි

July 26, 2016   03:39 pm


කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දිනකට පැය 8 බැගින් මාස 3ක කාලයක් වසාතබන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

2017 ජනවාරි මස 05 වනදින සිට මාස 3ක කාලයක් පුරා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා එය වසාතැබීමට කටයුතු කරනු ලබන්නේ ගුවන් ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් බව අමාත්‍යවරයා කියා සිටියේ අද(26)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේම ගුවන්තොටුපළේ දෙවෙනි පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ නොවැම්බර් මස ආරම්භ කිරීමටත්,එය වසර 3ක කාලයකදී නිම කිරීමටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අගෝස්තු 01 වන දින සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවන බැවින් ඊට සමගාමීව දුම්රිය ගාස්තුවල වැඩිවීමක් සිදුවන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසනලදුව ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට එවන් තීරණයක් ගෙන නොමැති බවයි.


ආසියානු ශාන්තිකර කලාපීය සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53වන සමුළුව අගෝස්තු 01 සිට 5 දක්වා කොළඹදී පැවැත්වෙන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.