කුඹුරේ බැඳ සිටි කිරි දෙනුන් මරා මස් අරන් ගිහින්
July 25, 2016 05:22 pm
දඹුල්ල, බකමුණ ප්රධාන මාර්ගයේ උණපඳුරුයාය, කලුන්දාව ප්රදේශයේ කුඹුරක බැඳ සිටි කිරි දෙනුන් හතර දෙනකු හා කුඩා පැටවකු මරා මස් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
කලුන්දාව ප්රදේශයේ ගොවියකු විසින් අද(25) දින දඹුල්ල පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි කර ඇති බව දඹුල්ල පොලීසිය පවසයි.
ඊයේ(24) පස්වරුවේ සතුන්ට ආහාර ලබා දී ඔවුන් ගස්වල බැඳ තමන් ආපසු නිවසට ගිය බවත්, අද දින පෙරවරුවේ කිරි දෙවීම සඳහා පැමිණීමෙන් පසුව ඇළ මාර්ගය අසළ තම කිරි දෙනුන් හතර දෙනාගේ හා එක පැටවකුගේ හම, කකුල් හා බඩවැල් පමණක් දැකගැනීමට හැකිවූ බවත් කලුන්දාව පදිංචි කේ. ජී.කිරිබණ්ඩා මහතා පවසා තිබේ.
මෙම එක් කිරි දෙනෙකු රුපියල් ලක්ෂයක් පමණ වටිනා කමක් තිබුණු බවත්, දිනකට එක කිරි දෙනකුගෙන් කිරි ලීටර් 12ත් 15ත් අතර ප්රමාණයක් ලබා ගන්නා බවත් ඔහු පවසයි.
කිරි ගවයින් අහිමිවීම හේතුවෙන් තමන්ගේ පවුලේ ආර්ථිකය බිඳ වැටී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
සිද්ධිය පිළිබඳව දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.