GMOA 4 වැනිදා සංකේත වර්ජනයක්

GMOA 4 වැනිදා සංකේත වර්ජනයක්

June 30, 2016   05:24 pm



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ජුලි මස 04 වන සඳුදා දිනයේ පෙරවරු 8 සිට දහවල් 12 දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.

කරුණු කිහිපයකට විරෝධය පළකිරීමේ අරමුණින් වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය.

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීම මෙම වර්ජනයේ එක් අරමුණක් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

එසේම වෛද්‍ය ශිෂ්‍ය මර්දනය, එට්කා ගිවිසුම අත්සන් කිරීමට රජය ගෙන යන වැඩපිළි‍වෙළ, ස්ථාන මාරු නියෝග ලැබූ සහ විදෙස් පුහුණුවට ගොස් පැමිණි වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා නොදීම ඇතුළු කරුණු මෙම වර්ජනයට හේතුවී ඇත.

කෙසේවෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකායතන හා වකුගඩු ප්‍රතිකාර ඒකකවල වර්ජනය ක්‍රියාත්මක නොවන අතර සෑම රෝහලකම හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදුකෙරෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.