වසර 15කින් පශූ වෛද්‍යවරු බඳවාගෙන නෑ

වසර 15කින් පශූ වෛද්‍යවරු බඳවාගෙන නෑ

June 25, 2016   09:11 pm



වනජීවී දෙපාර්තමේන්තුවට තවත් පශූ වෛද්‍යවරුන් 06 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බව වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පශූ වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බව වනජීවී අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගියදා හම්බන්තොට වරාය පරිශ්‍රයේදී කාණුවක වැටී සිටියදී බේරාගත් අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනේදී මියයාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වන ජීවී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

අදාළ ඇත් පැටවා පශූ වෛද්‍යවරයෙකු නොමැතිවීමෙන් මියගිය බවට වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට පුද්ගලිකව හෝ උඩවලව ඇත් අතුරු සෙවනට ගෙවිමේ ක්‍රමය යටතේ පශූ වෛද්‍යවරුන් ලබාදීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරියේදී පශූ වෛද්‍යවරුන් බඳවා ගැනීමට කටයුතු කරන බව සඳහන් කරන අමාත්‍යවරයා දැනට වනජීවී දෙපාර්තමේන්තුව තුළ නිලධාරී හිඟයක් පවතින බව ද සඳහන් කළේය.

වසර 15කින් පමණ වනජීවී දෙපාර්තමේන්තුවට පශූ වෛද්‍යවරුන් බඳවාගෙන නොමැති අතර පශූ වෛද්‍යවරුන් බඳවා ගැනීමට අවශ්‍ය බව තමන් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව ද අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.