ආරක්ෂක හේතූන් මත සියලු ඉඩම් නිදහස් කරන්න බෑ

ආරක්ෂක හේතූන් මත සියලු ඉඩම් නිදහස් කරන්න බෑ

June 25, 2016   08:58 pm


ආරක්ෂක හේතූන් මත උතුරු නැගෙනහිර හමුදාව යටතේ පවතින සියලුම ඉඩම් නිදහස් කිරීම සිදු කළ නොහැකි බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ නිදහස් කිරීමට හැකි ඉඩම් දැනට හදුනාගනිමින් පවතින බවයි.

යාපනය ප්‍රදේශයේ හමුදා භාරයේ පැවැති ඉඩම් කිහිපයක් නිදහස් කිරීමේ උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව අද (25) දිනයේ පේසාලෙයි සහ වලිකාමන් ප්‍රදේශවල අක්කර 201ක ප්‍රමාණයක් නිදහස් කරනු ලැබීය.

අද දිනයේ ඉඩම් නිදහස් කිරීමට කටයුතු කළ අයුරින් ඉදිරි දින කිහිපය තුළ තවත් ඉඩම් නිදහස් කිරීමට අපේක්ෂා කරන බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.

ආරක්ෂක හේතුන් මත නිදහස් කිරීමට නොහැකි ඉඩම් කොපමණක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් එලෙස නිදහස් කළ නොහැකි ඉඩම්වල අයිතිකරුවන්ට වන්දි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික්කය තුළ පමණක් මීට පෙර අක්කර 29000ක ප්‍රමාණයක් හමුදාව යටතේ පැවතුන අතර ඉන් බොහෝ ප්‍රමාණයක් නිදහස් කර ඇති බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.