රට රැකියා පෙන්නා අතරමං කරළා

රට රැකියා පෙන්නා අතරමං කරළා

June 25, 2016   03:26 pm



කටාර් ගෘහ සේවය සඳහා යවනබව පවසමින් කාන්තාවන් ඉන්දියාවට යවා අතරමන් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකදී  මේ සම්බන්ධයෙන් අනාවරණය වූ බව එම එම කාර්යාංශය සඳහන් කළේය.

කොළඹ මරදාන ප්‍රදේශයේ ගුවන් ටිකට්පත් ඒජන්සි ආයතනයක් විසින් මෙම ඡාවාරම සිදු කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදු කළ වැටලීමකදී පුද්ගලයින් රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍ය ලියකියවිලි රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙයි.

රැකියා සඳහා විදෙස් ගතවීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව එම කාර්යාංශය සඳහන් කළේය.

නීති විරෝධී අයුරින් රැකියා සඳහා විදෙස් ගත වන පුද්ගලයින් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගකීමක් නොගන්නා බව එම කාර්යාංශය අවධාරණය කරයි.