රෝහිතගේ තත්ත්වය යහපත්

රෝහිතගේ තත්ත්වය යහපත්

June 25, 2016   12:50 pm


ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් අතුරතුර හදිසි අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ඊයේ(24) දහවල් කොළඹ පැවැති උද්ඝෝෂණයක් අතරවාරයේ ඇද වැටීමෙන් තුවාල ලැබූ රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය.

ඇද වැටීම හේතුවෙන් රෝහිත අබේගුණවර්ධන මහතාගේ හිසට හානි සිදුව ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව අදාළ පෞද්ගලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය උත්පල මල්ලවආරච්චි මහතා සඳහන් කළේය.

 විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු විසින් මන්ත්‍රීවරයා පරීක්ෂාවට ලක් කර ඇති අතර ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු ද මන්ත්‍රීවරයා පරීක්ෂාවට ලක් කර තිබේ.

කෙසේ වෙතත් අද(25) දහවල් වන විට මන්ත්‍රීවරයා දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ හැකි බව ද වෛද්‍ය උත්පල මල්ලවආරච්චි මහතා අද දෙරණ සමග සඳහන් කළේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයාගේ සුවදුක් බැලීම සදහා අදාළ පෞද්ගලික රෝහල වෙත ගොස් තිබේ.