ප්‍රසිද්ධ චරිත 3ක් මත්පෙති සමග මාට්ටු

ප්‍රසිද්ධ චරිත 3ක් මත්පෙති සමග මාට්ටු

June 25, 2016   12:45 pm



කොළඹ සමාජ ශාලා ආශ්‍රිතව සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරකමක තොරතුරු හෙළිව තිබේ.

ඊට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු සහ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඉතා සංවිධානාත්මකව සිදු කෙරෙන මෙම ජාවාරම සඳහා දේශපාලන මැදිහත්වීමක්ද පවතින බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මෙරට ප්‍රධාන රෙදි නිෂ්පාදන ආයතනයක කළමණාකරුවෙකු, දේශපාලනඥයෙකු සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු සහ කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ පුද්ගලයෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය.

අදාළ පුද්ගලයින් තිදෙනා ළඟ තිබූ එස්ට්‍රසි වර්ගයේ පෙති 49 ක් සහ එල්.එස්. ඩී මත්ද්‍රව්‍ය අඩංගු මුද්දර 200ක්  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන තිබේ.

එස්ට්‍රසි වර්ගයේ පෙත්තක් රුපියල් 3500කටත්, එල්.එස්.ඩී මත්ද්‍රව්‍ය අඩංගු මුද්දරයක් රුපියල් 2500කටත් අලෙවි කරන අතර ඒ අනුව සොයා ගන්නා ලද මුළු මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 06 ඉක්මවන බව පොලීසිය සඳහන් කළේ.

මීට අමතරව මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැරීමට කටයුතු කළ බව පොලීසිය පැවසුවේය.