තොරතුරු දැන ගැනීමේ පනත සංශෝධන සහිතව සම්මතයි

තොරතුරු දැන ගැනීමේ පනත සංශෝධන සහිතව සම්මතයි

June 24, 2016   04:24 pm




තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී මීට ටික වේලාවකට පෙර සම්මත වී තිබේ.

සංශෝධන සහිතව එය සම්මත වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මේ සඳහා ඡන්ද විමසීමක්ද නොකෙරිණ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සලකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව මූලාසනයේ සිටි මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

තොරතුරු දැනගනීමේ පනත් කෙටුම්පත යහපාලන ජාතික ආණ්ඩුවේ ප්‍රමුඛ ජනතා පොරොන්දුවක් වූ අතර 2015 ජනවාරි 08 දින ලබූ ජයග්‍රහණයත් සමඟ රජය සඳහන් කළේ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තවදුරටත් ශක්තිමත් කිරීමට තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබාදෙන බවය.

ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත පසුගිය මාර්තු 24 දින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පනත් කෙටුම්පත ඊයේ (23) සහ අද( 24)  දින දවස පුරා විවාදයට ගත් අතර පක්ෂ විපක්ෂ අදහස් යෝජනා රැසක් ඉදිරිපත් විය. පනත් කෙටුම්පත ඒ අනුව කාරක සභ අවස්ථාවේ දී සලකා බලා  සංශෝධන එක් කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත් කෙටුම්පත  ජනතාවට ලබාදීම තුළින් රජයේ තිබෙන දේශපාලන කැපවීම ලෝකයට පෙන්වාදීමට හැකි වූ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ පැවැති විවාදයේ දී පැවසුවේය.

විවාදයට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත සඳහන් කළේ,තොරතුරු දැනගැනීමට මේ රටේ ජනතාවට තිබෙන අයිතියක් බවත් එය ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් බවත් කිසිම ආණ්ඩුවකට මින් පසු තොරතුරු හැංගීමට නොහැකි බවත් ය.




රජයේ නිල පුවත් වෙබ් අඩවිය.