විනාශය...

විනාශය...

August 22, 2019  

Bookmark and Share
දේවහුව ජලාශයේ ජලය නොමැතිවීම හේතුවෙන් වීශාල මත්ස්‍යයන් ප්‍රමාණයක් දිනපතා මියගොස් ගොඩගැසීම නිසා වැවේ ඉතිරි වී ඇති මසුන් මැරීම තාවකාලිකව නැවැත්වීමට ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා කටයුතු කර ඇත.

මෙම තීරණයත් සමඟ දේවහූව ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදී සිටින අය දැඩි අසීරුතාවයකට පත්ව සිටින බැවින් වහාම දේවහුව ජලාශයට ජලය ලබාදී තම රැකියාව සුරක්ෂිත කර දෙන්නයි ධීවරයෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෙන් ඉල්ලීමක් කර සිටිති.

දේවහුව ජලාශය පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව ගලේවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා විසින් එම කලාප භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ලවා අදාල ජලාශය පරීක්ෂණයකට ලක් කර ඇත.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දේවහූව ජලාශයේ මසුන් මිය ගොස් ඇති ආකාරය සහ ධීවර කටයුතුවල නිරත වන ආකාරය පිළිබඳව සිය අධික්ෂණය නිරත වූ අතර එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ විශාල වශයෙන් ජලය සිඳී යාම හේතුවෙන් මසුන් මිය ගොස් තැන තැන ගොඩ ගසා ඇති නිසා එම මසුන්ගේ අවශේෂ කොටස් ජලයට සේදී ජලේ සිටින මසුන්ට එකතු වීමේ අවදානමක් පවතින බවයි.

එම නිසා තාවකාලිකව මසුන් මැරීම නවතා වාරිමාර්ග නිලධාරීන් සමඟ සාකච්ඡා කොට යම්කිසි ජලය ප්‍රමාණයක් ජලාශයට ලබා ගැනීම පසුව මසුන් මැරීම සිදු කරන ලෙස හෙතෙම ධීවර ජනතාව ගෙන් ඉල්ලීමක්ද කළේය.

දේවහූව ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තය කරගෙන යන ධීවරයන් කියා සිටියේ දේවහුව ජලාශය නියගයකට සිදුනා නොවේ වාරිමාර්ග නිලධාරීන්ට ජලාශයේ වාන් දොරටුව කැඩී ගිය පසු අලුත්වැඩියා කිරීමට නොහැකිවීම හේතුවෙන් ජලය සියල්ල නිරපරාදේ අපතේ යෑම හේතුවෙන් මෙම අපරාධය සිදුව තිබෙන බව යි.

දේවහුව ජලාශයට රජයේ මුදල් ප්‍රතිපාදන යොදවා අති විශාල මත්ස්‍ය පැටව් ප්‍රමාණයක් මුදා හැර තිබෙන නිසා ජලය ලබා නොදුනහොත් ඉදිරියේදී ගොවියා මෙන්ම ධීවර යා ද දැඩි අසීරුතාවයකට පත් වන බව ඔවුන් පවසයි.

කෙසේ වෙතත් මේ වන විට ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් අඩු වී ඉතා කුඩා ප්‍රමාණයක පමණක් ජලය රැඳී තිබේ.

මෙම අවසන් ජල කොටසේ රැඳී සිටින මසුන්ට එක් පසෙකින් ධීවරයන් ද අනෙක් පසෙකින් පක්ෂින්ගෙන් අනිත් පසෙකින් උග්‍ර අව් රශ්මිය හේතුවෙන් ද මසුන් ද දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව මහ ජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම මසුන් ආහාරයට ගැනීම සහ මසුන් මැරීම මහ ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස අනුමත කිරීමට නොහැකි බැවින් තාවකාලිකව මසුන් මැරීම නවතා හැකි ඉක්මනින් දේවහුව ජලාශයට වෑමැඩිල්ල ජලාශය හරහා ජලය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ධීවරයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතරද සාකච්ඡාවක් ද ඇති වු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

දේවහූව ජලාශයේ කැඩීගිය සොරොව්ව පිළිසකර කිරීමේ කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මේ දිනවල සිදුකරමින් පවතිබව වාර්තා වේ.

එතෙක් වැලිකොට්ට ගසා හෝ ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට අවැසි බව ධීවරයන් පවසති.

එහෙත් ගොවීන් කියා සිටින්නේ ධීවර කටයුතු වලට නොව ගොවිතැන් වලට දැනට පවතින ඉතා සීමිත වතුර ලබාදෙන ලෙසය.

මෙම අර්බුදය නිසා රජයේ නිලධාරීන් , ධීවරයන් මෙන්ම ගොවීන් ද දැඩි අර්බුදයකට මුහුණ පා සිටියි.

(ඡායාරූප-කාංචන ආරියදාස)