රටේ අනාගතයේ...

රටේ අනාගතයේ...

July 18, 2019  

Bookmark and Share
අධ්‍යාපනයේ දියුණුවට ටැබ් දෙන අවධියක අම්පාර දිස්ත්‍රික්කයේ මහානාගපුර තක්ෂිලා විදුහලේ සිසුන් 100 ක් පමණ විදුහලට ගොඩනැඟිල්ලක් නොමැතිව ගස් යට අකුරැ කරමින් සිටින අයුරු අද දෙරණට වාර්තා විය.

පසුගිය රජය මඟින් ආරම්භ කරන ලද පාසැල් 1000 යටතේ අම්පාර මහානාගපුර මහා විදුහලද එම ව්‍යාපෘතියට ඇතුළත් කර තිබේ.

පසුව දෙමව්පියන් එක්ව අධ්‍යාපන බලධාරින් ගේ සහය ඇතුව එම විදුහල ආසන්නයේ තාක්ෂිලා ප්‍රාථමික විදුහල නමින් ප්‍රාථමික විදුහලක් ආරම්භ කරනු ලැබිය.

මුල් අවධියේ මෙම ප්‍රාථමිකය මහානාගපුර මහා විදුහලේ ගොඩනැඟිල්ලක පවත්වා ගෙන ගියත් එම විදුහලට පන්ති කාමරවලට මෙම ගොඩනැඟිල්ල අවශ්‍ය නිසා පන්ති කාමර තුනක් ඉන් ඉවත්කර ගස් යට පැවත්විමට ගුරුවරුන්ට සිදුව තිබේ.

තක්ෂිලා විදුහල සඳහා පන්ති කාමර හතරක ගොඩ නැඟිල්ලක් ඉදිකිරීමට 2017 වසරේ ආරම්භ කරත් එය තවම අවසන් කිරිමට නොහැකිව වු බව දෙමව්පියන් පවසයි.

මේ හේතුව නිසා ළමුන් 100 ක් පමණ පිරිසකට ගස් යට අකුරැ කිරීමට සිදුව තිබේ.

දැනට පවතින දැඩි නියං තත්ත්වය සමඟ මෙම ස්ථානයේ අකුරැ කිරීමට ගුරුවරුන්ට අපහසු වී තිබේ.

ගස්වල සිටින දිඹියන්,දළඹුවන් ළමුන්ගේ ඇඟට වැටෙන අතර එයින් දරුවන් රැක ගැනිමට දෙමව්පියන්ට පාසැලේ රැඳී සිටීමටද සිදුව තිබේ.

මේ හේතුව නිසා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි අයුරින් කිරිමට නොහැකි වී තිබෙන බව දෙමව්පියන් පවසති.

මේ පිළිබඳව අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක විමලසේන මද්දුම ආරච්චි මහතාගෙන් විමසීමේ දී අපට පවසා සිටියේ, අලුතින් ඉදිකරන ලද ගොඩනැඟිල්ල කොන්ත්‍රාත්කරුවන්ට නිසි වේලාවට ඉදිකිරිමට නොහැකි වු නිසා මේ තත්ත්වය උදාවී ඇති බවයි.

කෙසේ වෙතත් මේ වෙනවිට ගොඩනැඟිල්ලේ වැඩ අවසන් වෙමින් පවතින අතර මීළඟ පාසැල් වාරයේ දී හෝ දරුවන්ට නව ගොඩනැඟිල්ලේ අධ්‍යයන කටයුතු කිරිමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

නව ගොඩනැඟිල්ලට පාසැල රැගෙන ගියත් තවත් එක් පන්ති කාමරයක අඩුවක් පවතින අතර ඒ සඳහා තාවාකාලික ගොඩනැඟිල්ලක් ඉදිකිරිමට කටයුතු කරන බවද පැවසෙයි.