විසඳුමක් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා

විසඳුමක් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා

May 31, 2016   06:16 pm



සෞඛ්‍ය අමාත්‍යවරයා මේවන විට මාධ්‍ය සංදර්ශන පවත්වමින් නන්දොඩවන්නෙකු බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උප ලේකම්,වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාට වසර 15ක වෘත්තීය සංගම් අත්දැකීම් ඇති බව කියා සිටින නමුත් ඒවා මොනවාදැයි රටට හෙළි කළ යුතු බවයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාද,අමාත්‍යවරයා ආරක්ෂා කිරීම සඳහා අසාර්ථක උත්සාහයක නිරතවන බවත්,එවැනි ප්‍රකාශ මීට පෙරාතුව අසන්නට දකින්නට ලැබුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් බවත් සොයිසා මහතා සිහිපත් කළේය.

අද දින පැවැත්වුණු සංකේත වැඩවර්ජනයට දිවයින පුරා රෝහල් 1571ක වෛද්‍යවරුන් 10,000ට ආසන්න සංඛ්‍යාවක් එක්වූ බවත්,සීමාවාසික පත්වීම් ලබාදීමේ හා වෛද්‍ය මාරුවීම් ප්‍රතිපත්තියට තවදුරටත් ඇඟිලිගැසීම් සිදුවන්නේනම් ජූනි මස 2වන දින පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී අඛණ්ඩ වැඩවර්ජනයකට යාම පිළිබඳ සාකච්ඡා කරන බවත්  හෙතෙම කියා සිටියේය.

ඇතැම්විට ඊට පෙරාතුව එක් දින වැඩවර්ජනයකට හෝ යා හැකි බවද ඔහු අවධාරණය කළේය.

සකස්කරන ලද සීමාවාසික පත්වීම් ලැයිස්තුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ එකඟතාව ලැබුණු බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය විසින් ප්‍රශ්න කළ විට සොයිසා මහතාගේ ප්‍රතිචාරය වූයේ එසේ එකඟතාව ලැබුණු ලැයිස්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයා සතුව පවතින නමුත් ප්‍රකාශයට පත්කර ඇත්තේ එය නොවන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි අවධියේදී මෙලෙස ඔහුගේ බිරිඳ හෝ දරුවන් වෛද්‍ය මාරුවීම් ප්‍රතිපත්තියට අත නොගැසූ බවත්,එවක පොළොන්නරුව රෝහලට කැමති වෛද්‍යවරුන් ගන්නට හෝ අකමැති වෛද්‍යවරුන් පිටමං කිරීමට බලපෑමක් නොකළ බව හෙතෙම සිහිපත් කළේය.