ග්‍රාමනිලධාරියා අල්ලස් දැලේ

ග්‍රාමනිලධාරියා අල්ලස් දැලේ

May 31, 2016   05:57 pm



අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාමනිලධාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනා මත අදාළ ග්‍රාමනිලධාරීවරයා අත්අඩංගුවට ගත් බවයි.

 කාන්තාවකට විදේශ ගතවීම සඳහා අවශ්‍ය පවුල් පසුබිම් වාර්තාව සකස් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරදීම සඳහා ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්ය.

  ඒ අනුව සිය නිවසේ පිහිටි කාර්යාලයේ දී එම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ සැකකාර ග්‍රාමනිලධාරීවරයා අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

 සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.