පැල්පිටගේ පත්වීම අවලංගු කරයි

පැල්පිටගේ පත්වීම අවලංගු කරයි

May 31, 2016   05:56 pm



ස්‍වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කිරීමට රාජ්‍ය සේවා කොමිසම පියවර ගෙන තිබේ.

ආයතන සංග්‍රහයට අනූව සාපරාධි ක්‍රියා, අල්ලස් හෝ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකුට එරෙහිව අධිකරණයක නඩුවක් තිබියදී එවැනි පුද්ගලයෙකු රාජ්‍ය සේවයේ තනතුරක් දැරීමට හැකියාවක් නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.

පසුගිය සිකුරාදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් රාජ්‍ය සේවා කොමිසමට මේ ගැන දැනුම්දුන් බවත්, එය සලකා බැලීමට රාජ්‍ය‍ සේවා කොමිසම අද අද රැස්වූ බවත්, හෙතෙම කීවේය.

ඒ අනූව පැල්පිට මහතා‍ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නඩුව අවසන් වනතුරු තවදුරටත් ඔහුට රාජ්‍ය සේවයේ කටයුතු කළ නොහැකි බවත්, ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය දිනවල පැවැති ආපදා තත්ත්වය හමුවේ එහි කටයුතු වඩාත් පහසුකර ගැනීම සඳහා අනූෂ පැල්පිට මහතා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරකට පත් කළ අතර ඊට සිවිල් සංවිධාන හා වෘත්තීය සමිතිවලින් දැඩි විරෝධයක් එල්ල  විය.

මේ ගැන අද දහවල් අප වාර්තා කළ පුවතින්ද අනාවරණය කළේ එම සිවිල් සංවිධාන හා වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හමුවේ රාජ්‍ය සේවා කොමිසම එම පත්වීම අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වන බවයි.