වැනසීම..

වැනසීම..

July 7, 2019  

Bookmark and Share
වන අලින්ගෙන් හා වනසතුන්ගේ සංවේදීම පරිසර කලාපයක් වන පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පිහිටි විශාල කුඹුක් ගස් වලට ගිනි තබා පිරිසක් මහා පරිමාණයෙන් වී වගා කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණයෙන් අක්කර පන්දාහක් පමණ වන සංහාරයක් කිරීම හේතුවෙන් එහි සිටින වන අලියෙන් මෙන්ම වෙනත් සතුන් ගම්මාන කඩා වැඳ තම වගා මෙන්ම ජීවිතවලට ද හානි කරන බව ගම්වාසීහු පැවසු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

දිගු කලක සිට ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිදු කරන මෙම මහා පරිමාණ පරිසර හානිය පිළිබඳව වනජීවී නිලධාරීන් ලිඛිතව මෙන්ම වාචික ව දැනුවත් කළ ද මෙයට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටිම පුදුමයට කරුණක් බව පරිසරවේදීන් පවසා ඇත.

මේ පිළිබඳව පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ විනාශය සම්බන්ධයෙන් මීට පෙර 225 දෙනෙකුට පොළොන්නරුව දිසා අධිකරණයේ නඩු පවරා ඇති බවත් තවදුරටත් ඒ විනාශය සිදු සිදු කරනවා නම් වහාම සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් පොලොන්නරුව වනජීවී නිලධාරීන් කීප දෙනෙකුගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ මෙම මහා පරිමාණ වන සංහාරය පිටුපස දේශපාලනඥයන්ගේ ආශිර්වාදය තිබෙන බවත් එම නිසා පරිසරය විනාශ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි බාධා මතු වී ඇති බවත්ය.

ඡායාරූප-ප්‍රසාද් සමන්