පළාත් පාලන කොමසාරිස්ගේ රියේ හැපුණු තරුණයා මරුට
May 28, 2016 09:29 am
පුත්තලම - හලාවත මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඇති තරුණයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
ඉකුත් 27 වැනිදා දහවල් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය - යගන්වෙල පදිංචිකරුවෙකු වන අබුතාහිර් මුජාහිර් (අවු:18) නම්වූ අයෙකි.
මියගොස් ඇති තරුණයා මදුරන්කුලියේ පිහිටි අනාථ දරුවන් සඳහා වන කාර්මික පාසලේ ඉගෙනුම ලබමින් සිට ඇත. ඔහු කහ ඉරක් නොමැති ස්ථානයකින් පුත්තලම - හලාවත ප්‍රධාන මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කර ඇත.
ඒ වන විට යාපනයේ සිට කොළඹ දක්වා පුත්තලම හරහා ගමන් කරමින් තිබූ කැබ් රථයක තරුණයා ගැටීමෙන් අනතුර සිදුවී ඇත.අනතුරින් තුවාල ලැබූ තරුණයා එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 27 වැනිදා සවස ඔහු මියගොස් ඇත.
අනතුරට සම්බන්ධ කැබ් රථයේ උතුරු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා ගමන් කරමින් තිබී ඇත. කැබ් රථය පොලිස් බාරයට ගෙන ඇති අතර එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.