බ්‍රිතාන්‍ය ඉවත්වීම බරපතළ තර්ජනයක්
සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය ඉවත්වීම බරපතළ තර්ජනයක්

May 27, 2016   11:35 am



බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගෝලීය වර්ධනයට බරපතළ තර්ජනයක් බව ජී - 7 නායකයින් පවසයි.

ලෝකයේ ප්‍රධාන කාර්මික රටවල් හතේ එකතුවෙන් සැඳුම්ලත් ජී - 7 කණ්ඩායමේ සැසිය දෙවන දිනටත් අද ජපානයේ දී පැවැත්වෙන අතර එහිදී අදාළ කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

ඒ අනුව එම නායකයින් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය වෙළෙඳ ආයෝජන සහ රැකියා පිළිබඳ තත්ත්වය ආපස්සට ගමන් කරනු ඇති බවයි.

 බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ජනමත විචාරණයක් ලබන මස 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ජී - 7 සමුළුවෙහි අන්තර්ජාතික වශයෙන් බලපාන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමුකර ඇත.

ගෝලීය වර්ධනය සම්බන්ධයෙන් හදිසි සහ මූලික අවධානය යොමු කළ යුතු බවට රාජ්‍ය නායකයින් අවධාරණය කර තිබේ.

එමෙන්ම ආර්ථික ප්‍රතිපත්ති, අන්තර්ජාතික වෙළෙඳපළ, මුදල් ඒකක, යුරෝපා සරණාගත ගැටලුව, නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ පවතින නාවික ගැටලුව මෙන්ම ත්‍රස්ත ප්‍රහාර සහ බෙදුම්වාදී ගැටුම් පිළිබඳව ද ඔවුන් සාකච්ඡාවට ලක් කර ඇත.

ජී-7 කණ්ඩායමේ සාමාජිකයින් වන්නේ අමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය සහ ජපානයයි.