හෙළිදරව්වක්...

හෙළිදරව්වක්...

June 12, 2019  

Bookmark and Share
කොකඩ්ඩිචෝලේ පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු ඝාතනය කර වල දමා ඇති බව පොලීසිය පවසයි.

මෙම කොස්තාපල්වරයා අතුරුදන් වු බවට 2008 ජුලි මස 27 දින වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 23 ක් වු නාගරාසා ප්‍රශාන්තන් නැමති කොස්තාපල්වරයෙක් වන අතර, අතුරුදන් වීම සම්බන්ධයෙන් කාත්තාන්කුඩි පොලිස් ස්ථානයට ඔහුගේ පියා විසින් 2008 අගෝස්තු මස 1 වන දින පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

මේ අතර, 2018 වර්ෂයේ නොවැම්බර් වව්නතිව් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට ගොස් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම අතුරුදන් වු නිලධාරියා ගැනත් තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන කරමින් සාක්ෂි සොයා ගෙන තිබේ.

එම පොලිස් කොස්තාපල් වෙඩි තබා ඝාතනය කර වල දමා ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව, 2019 මාර්තු 28 වන දින සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත වයස අවුරුදු 32 ක් වු මඩකලපුවේ පදිංචි තම්බි මුත්තු සෙල්වරාසා නොහොත් මදන් නැමැත්තෙක් වන අතර, අනෙක් පුද්ගලයා වයස අවුරුදු 34 ක් වු වාලච්චේන ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සුබ්‍රමනියම් නොහොත් ලිංගම් නැමැත්තෙකි.

තුන්වන සැකකරු වන මඩලපුවේ පදිංචි වයස අවුරුදු 38 ක් වු මේරි ඇන්තනී අජන්තන් දීපම් නැමති පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය අප්‍රේල් 4 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනයේ දී අනාවරණය වු කරුණු මත පොලිස් කොස්තාපල්වරයා වල දමා තිබු ස්ථානය සොයා ගනු ලැබූ අතර, මඩලකපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගයක් මත කැනීම් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කොක්කඩචෝලේ සුසාන භූමිය ආසන්නයේ ස්ථානයක් වන අතර, මහේස්ත්‍රාත්වරයා හා අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ මෙම කැණීම් සිදු කරන බව ද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයේ සිටින බවත්, මෙම නිලධාරීන්ගේ හැකියාව මත වැලලී ගොස් තිබු මෙම අපරාධ සොයා ගැනීමට හැකි වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඡායාරූප-ක්‍රිෂ්ණ කුමාර්