සෙනෙහස...

සෙනෙහස...

May 23, 2019  

Bookmark and Share
සිරදඬුවම් ලබා බන්ධනාගාර ගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද(23) දිනයේ ජනපති පොදු සමාව හිමිවනු ඇති බවට වාර්තා වෙයි.

මේ අතර ඥානසාර හිමියන්ගේ මව කරන්දෙණිය, ගලගොඩඅත්තේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසෙන් සිට කොළඹ බලා පිටත්වීමට නියමිත බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඒ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැහැ දැකීමේ සූදානමින් බව වාර්තා වෙයි.

ඥානසාර හිමියන්ගේ මව සහ ප්‍රදේශවාසීන් එක්ව නිවසේ මේ වන විට භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ආගමික වාතාවත් සිදු කරමින් පවතී.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි සඳහන් කළේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ඊයේ(22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බවයි.

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට පසුගිය වසරේ අගෝස්තු මස 08 වන දින බරපතළ වැඩ සහිත වසර 06ක සිරදඬුවමක් හිමිවුණි.

උන්වහන්සේට පොදු සමාවක් ලබාගැනීම සඳහා පාර්ශව කිහිපයක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබූ අතර පසුගිය වෙසක් පුන් පොහොය දින ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥාණසාර හිමියන් සමග කතාබහක ද නිරත වී තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී ඇති බවට පල වන වාර්තා සම්බන්ධයෙන් අද දෙරණ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ එවන් තීරණයක් සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි.

කෙසේවෙතත් ජනපති පොදු සමාව යටතේ අද පස්වරුවේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාරයෙන් රැගෙනයාමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප - දීපාල් ද සිල්වා