දේශපාලනයේ අවම සදාචාරය හෝ රැකිය යුතුයි

දේශපාලනයේ අවම සදාචාරය හෝ රැකිය යුතුයි

May 2, 2016   09:22 pm


දේශපාලනයේ අවම සදාචාරය රකින ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාට පැවති හමුදා ආරක්ෂාව ඉවත්කරලීමට ක්‍රියා කිරීම පිළිබඳ අද(02)පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ත්‍රස්තවාදය පරාජය කළ හිටපු ජනාධිපතිවරයෙකුයි,ත්‍රස්තවාදය සමග හුරතල් වෙච්චි හිටපු ජනාධිපතිවරුන්ගෙයි ආරක්ෂාව එකිනෙකට සංසන්දනය කිරීමට හැකියාවක් නොමැති බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ඒ බව ඕනම තකතිරුවෙකුට තේරෙන්න ඕන දෙයක් බවත්,රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සැලසූ නායකයා ආරක්ෂා කළ යුතුව ඇති බවත්,ඔහු සතුරාට නිරාවරණය නොකළ යුතු බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.

එබැවින් රට රැකගත් එහෙව් නායකයෙකුගේ ආරක්ෂාවට පොලිස් කොස්තාපල්වරු දාලා හරියන්නේ නැති බවත්,කිරුළපන මැයි දිනයේ ජනතා ප්‍රතිචාරය දැක ඊට වියරු වී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කළ බවත් ඔහු සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට පොලිස් ආරක්ෂාව නොව ග්‍රාමාරක්ෂක ආරක්ෂාව තිබුණද ප්‍රමාණවත් බවත්,ඒ සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්නොවන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

බියගැන්වීම්,තාඩන පීඩන මැදින්,තමාට හිමි සියලුම මාධ්‍ය තුළින් අවලාද නඟිද්දී කිරුළපන සිට නුගේගොඩ දක්වා ඇදුණු මහා ජන ගංගාවට,ඒ ජනතාවට ප්‍රණාමය පුදකරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ රැළියේ අතුරුප්‍රතිඵලයක් ලෙස රටේ ඇතැම් ජනයාට ආහාර පාන සහිතව නොමිලේ කතරගම යන්නට අවස්ථාව ලැබුණු බවත්,අතට කීයක් හරි මුදලක් ලබාගෙන රාජ්‍ය අනුග්‍රහයෙන් වන්දනා ගමනක් යන්න හැකිවුණු බව දැනගන්න ලැබුණු බවත් ඔහු සිහිපත් කළේය.

හිටපු ජනාධිපතිවරයාගෙන් හෝ  ඒකාබද්ධ විපක්ෂයෙන් තවදුරටත් පලිගන්න‍ට ක්‍රියා කළහොත් ඊට වඩා දෙගුණ තෙගුණ වුණු ජනතා ප්‍රති ක්‍රියාවක් දැකිය හැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.