හිටපු ජනපතිට ප්‍රමාණවත් ලෙස එස්.ටී.එෆ් ඉන්නවා

හිටපු ජනපතිට ප්‍රමාණවත් ලෙස එස්.ටී.එෆ් ඉන්නවා

May 2, 2016   06:08 pm


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් විශේෂ කාර්යය බලකා සෙබළුන් පිරිසක් යොදවා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා සෙබළුන් අද දිනයේ සිට ඉවත් කරගෙන ඇති බවට ඔහුගේ මාධ්‍ය ඒකකය අද නිවේදනය කරන ලදී.

ඒ අනුව පළමු කණ්ඩායම ලෙස හමුදා සාමාජිකයින් 50 දෙනෙකු අද දිනයේ ඉවත් වූ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කළේය.

හමුදා ආරක්ෂාව වෙනුවට පොලිස් නිලධාරීන් ආදේශ කර තිබුණ ද ඔවුන් ප්‍රභූ ආරක්ෂාව සඳහා විශේෂ පුහුණුව ලැබූ නිලධාරීන් නොවන බව ඔහු කියා සිටියේය.

මේ පිළිබඳ අද දෙරණ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉවත් කළ හමුදා සෙබළුන් සංඛ්‍යාවට සමාන විශේෂ කාර්යය බලකා සෙබළුන් සංඛ්‍යාවක් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට අනියුක්ත කර ඇති බවයි.

එම සෙබළුන් ප්‍රභූ ආරක්ෂාව සඳහා පුහුණු වූ පිරිසක් බව ද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.