හිටපු ජනපතිට පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නෑලු!

හිටපු ජනපතිට පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නෑලු!

May 2, 2016   03:58 pm



හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිළධාරීන් වෙනුවට පොලිස් නිළධාරීන් ආදේශ කර ඇති නමුත් ඔවුන් ප්‍රභූ ආරක්ෂාව සඳහා අවශ්‍ය විශේෂ පුහුණුව ලත් නිළධාරීන් නොවන බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා නිළධාරීන්ගෙන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දින ඉවත් කරන ලදී.

ඒ වෙනුවට පොලිස් නිළධාරීන් ආදේශ කර ඇති නමුත් මෙම පොලිස් නිළධාරීන් ප්‍රභූ ආරක්ෂාව සදහා අවශ්ය  විශේෂ පුහුණුව ලත් නිළධාරීන් නොවේ.

ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් කර තිබු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කළ  නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට බරපතළ ජීවිත තර්ජනයක් තිබෙන බව ආරක්ෂක විශේෂඥයින්ගේ අදහස වන අතර එය සාමාන්‍ය ජනසමාජය පවා වටහා ගත් තත්වයකි.

එමෙන්ම ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින්ම පරාජය කර දැනට ලෝකයේ ජීවත්ව සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතායි.

ඒ අනුව බැලූ කල ද එතුමන්ට සුවිශේෂී ප්‍රභූ ආරක්ෂාවක් ලැබිය  යුතු බව සියලු දෙනාගේ පොදු පිළිගැනීමයි.
 
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ ප්‍රභූ ආරක්ෂක පුහුණුව ලත් සහ දීර්ඝකාලීන අත්දැකීම් සහිත හමුදා නිළධාරීන් 50 දෙනෙකු එකවර ඉවත් කිරීම එතුමන්ගේ ජීවිතය අනතුරෙහි හෙළීමකි.

 එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදී එතුමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ යුතුකම මෙන්ම වගකීමයි.