උමා ඔය ව්‍යාපෘතියෙන් අගතියට පත් අයට සහන

උමා ඔය ව්‍යාපෘතියෙන් අගතියට පත් අයට සහන

May 2, 2016   01:49 pm



උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වූ පිරිස් සඳහා වන්දි ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට  දැනුම්දී තිබේ.

එම ව්‍යාපෘතියෙන් පීඩාවටපත් වූ ජනතාව විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(02) කැඳවූ අවස්ථාවේ රජයේ නීතිඥවරයා විසින් මේ බව දන්වා සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එහිදී රජයේ නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපෘතියෙන් සිදු වූ පාරිසරික හානිය ප්‍රතිපූරණය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බවයි.

අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ  290ක් පමණ සිදී ගොස් ඇති බව පැවසූ රජයේ නීතිඥවරයා පාරිසරික ප්‍රතිසංවිධාන කටයුතු හේතුවෙන් එම ජල මූලාශවලින් 56ක් යථා තත්ත්වයට පත්ව ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

මේ අතර පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නීතිපතිවරයාගේ මැදිහත්වීමෙන් රැස්වීමක් පැවැත්වීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ යෝජනා වූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව ජුලි මස 04 වනදා පෙත්සම යළි කැඳවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට එම කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද රජයේ නීතිඥවරයාට දන්වා තිබේ.