ජනපති සිංහනාද දුන්නත් වැට් බද්ද අද සිට ක්‍රියාත්මකයි

ජනපති සිංහනාද දුන්නත් වැට් බද්ද අද සිට ක්‍රියාත්මකයි

May 2, 2016   01:24 pm


ජන‍තාවට අහිතක්වන බදු නොගසන බවට මෛත්‍රී ජනාධිපතිවරයා පොලොන්නරුවේදී සිංහනාද දුන්නද අද දින සිට වැට් බද්ද ක්‍රියාත්මකවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ නම භාවිතා කිරීම පිළිබඳව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශකර සිටියේ මෙපමණ කාලයක් මෙවැනි නිවේදන නිකුත් කරනු ලැබුවේ ප්‍රවෘත්තී අධ්‍යක්ෂක බවයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙවැනි ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීම සම්ප්‍රදාය වෙනස් කිරීමක් බවත්, එය සදාචාර විරෝධී බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව මේ වන විට පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව අද දින සිට ඉවත්කර ඇති බවද ඒ මහතා ප්‍රකාශකර තිබේ.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ක්‍රියා කළ ඇතැම් පිරිස්වලට අද තනතුරු ලබා දී ඇති බවත් එය හාස්‍යයට කරුණක් බවත් ඒ මහතා පවසයි.