ජාතික හා පළාත් පාසල්වලට උෂ්ණත්වය වෙන වෙනම බලපාන්නෙ කොහොමද?

ජාතික හා පළාත් පාසල්වලට උෂ්ණත්වය වෙන වෙනම බලපාන්නෙ කොහොමද?

May 2, 2016   12:36 pm


උතුරුමැද පළාතේ ජාතික පාසල් හා පළාත් පාසල් දෛනිකව අවසන් කිරීමේ වේලාව එකිනෙකට වෙනස් කර ඇති බැවින් ගැටළු පැන නැඟී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් අධ්‍යාපන ලේකම්වරයාට යොමුකරන ලද ලිපියක මේ බව දැක්වෙයි.

එම ලිපියේ මෙසේද සඳහන්ය.

උතුරුමැද පළාතේ ජාතික පාසල් හා පළාත් පාසල් වේලාවන් දෙකකදී අවසන් කිරීමට තීරණය කර ඇති අතර මේ සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමයේ දැඩි විරෝධය පළ කරන අතරම ඔබගේ දැඩි අවධානය ඒ වෙත යොමු කරවමු.

02. මේ දිනවල ප.ව. 2.00 වන විට උතුරුමද පළාතේ පවතින දැඩි උෂ්ණත්වය නිසා සියලූම පාසල් දහවල් 12.00 ට අවසන් කිරීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය තීරණය කර ඇත. එම තීරණය ගැනීමෙන් අනතුරුව රේඛීය අමාත්‍යාංශය විසින් ජාතික පාසල් වලට එය අදාළ නොව බවත් සුපුරුදු පරිදි ජාතික පාසල් ප.ව. 1.30 ට වැසිය යුතු බවත් දැනුම් දී ඇත.


03. මෙය ඉතා පැහැදිළිව පළාත් අමාත්‍යාංශය හා රේඛීය අමාත්‍යාංශය අතර පවතින දේශපාලන කඹ ඇදිල්ලක ප‍්‍රතිඵළයක් වන අතර එමගින් උතුරුමැද පළාතේ විදුහල්පතිවරු, ගුරුවරු, සිසුන් මෙන්ම දෙමව්පියන් ද බරපතළ අපහසුතාවකට පත්ව ඇත.


04. විශේෂයෙන්ම පළාත් පාසලක හා ජාතික පාසලක දරුවන් දෙදෙනෙකු සිටින දෙම්විපියන්ට වෙන වෙනම තම දරුවන් රැගෙන යා යුතුව ඇති අතර පාසල් ප‍්‍රවාහන සේවාවන්ද අර්බුදයට ගෙන ගොස් ඇත.

05. උෂ්ණත්වය ඉහළ යනවිට එය පොදුවේ සිසු දරුවන්ට බලපාන අතර පළාත් ජාතික පාසල් දරුවන්ට එය වෙන, වෙනම බලපාන්නේ නැත. එබැවින් මෙවැනි කැකිල්ලේ තීන්දු තවදුරටත් නොගන්නා ලෙසත්, වහාම මේ තීරණය පිළිබඳ නැවත සලකා බලා උතුරු මැද පළාතේ සියලූම පාසල් එකම වේලාවට වසා දැමීමට පියවර ගන්නා ලෙසත් ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.