අයුක්තිය අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්න එන්න

අයුක්තිය අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්න එන්න

May 1, 2016   10:54 pm



රටේ ක්‍රියාත්මකවන අයුක්තිය අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමට සියළු ජනතාවට ආරාධනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(01) පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය අමතමිනි.

රටේ පවතින අවනීතිය සම්පූර්ණයෙන්ම අවසන් කර අනාගත පරම්පරාවට යහපත් රටක් නිර්මාණය කිරීමට පොරොන්දුවන බවද අනුර කුමාර දිසානායක මහතා මෙහි දී සඳහන් කළේය.

 මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට සැළසුම් කළ, ජනතවාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට තීන්දු කළ ජනතාවගේ ගහල මන්දිරය වූ අරලිය ගහ මන්දිරය නුදුරේදීම අත්පත් කරගෙන ජනතාවට එළිදරව් කරන බව දිසානායක මහතා පවසා තිබේ.

ඒ මහතා දැක්වූ අදහස් මෙසේය,
 
සමහරු කියනවා ජනතා විමුක්ති පෙරමුණට අරලිය ගහ මන්දිරයේ කාමරයක් තියෙනවා කියලා. අපි කාමරයක් නෙමෙයි ඔය මුළු මන්දිරයම අත්පත් කරගන්නවා. සහතික වශයෙන්ම අපි ඒ මන්දිරය අත්පත් කරගන්නවා. කෝකියෝ 40ක් හිටිය කුස්සිය. මැච් බලන්න අගල් 200කට වැඩි පුළුල් තිර, බල්ලන්ට ඒ.සි කරපු කාමර, සතුන් වතු, මේ මන්දිරය ජනතාවගේ ගහල මන්දිරය. ජනතාවට පීඩාවට පත් කරපු මන්දිරය තමයි අරලිය ගහ මන්දිරය.

ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් අසාධාරණයට පීඩාවට පත් වූ ජනතාව සමඟයි සිටගත්තේ. අපි කි‍්‍රයාවෙන් ඔප්පු කරලා තියෙනවා. අපි කරන්නේ මොනවාද කළේ මොනවාද කියලා අටුවාටීකා අවශ්‍ය නැහැ. අපේ කි‍්‍රයාමාර්ග භාවිතය, ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා. අපි එක එක පිට්ටනිවල ගාල් කරන්න බොහෝ අය උත්සාහ කරනවා. එහෙම කරන්න උත්සාහ කරන මහත්වරුන්ට අපි කියන්නේ සොරි මහත්තයෝ කියලා.

ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නගන අවලාද රැල්ල අපි අලූයම ලූ කෙළ පිඩක් තරම්වත් ගණන් ගන්නේ නැහැ. ඒක හීන් කෙඳිරියක් පමණයි. සහතිකයි. පැවැති පාලනයත් පවතින පාලනයත් කළේ ජනතාව පීඩාවට පත් කිරීම පමණයි. එදා සිදුවුණු දේවල් අද සිදුවෙමින් පවතින දේවල් ගැන නැවත නැවත කියන්න  ඕනේ ද ? පැවැති හැම ආණ්ඩුවමක්ම මේ රටේ ජනතාව පීඩාවට පත් කළා. අද අපි සහතික වෙනවා. මේ ගෙන යන පීඩාවන් අපේ පරම්පරාව විසින් අවසන් කරනවා. මේ පීඩාවන්, මේ දුක, මේ අසාධාරණකම්, මේ අවනීතිය අපි අවසන් කරනවා යැයි ඔහු තවදුරටත් කීය.