වැඩි වන වැට් අධ්‍යාපනයට නෑ

වැඩි වන වැට් අධ්‍යාපනයට නෑ

May 1, 2016   09:01 pm

වැඩි වන වැට් බදු ප්‍රතිශතයට අධ්‍යාපන ක්ෂේත්‍රය අදාළ නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි වීම හෙට(02) දිනයේ සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට අනුව මෙම වැට් බදු සංශෝධනය සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් සියයට 11ක්ව පවතින වැට් බද්ද අද මධ්‍යම රාත්‍රියට පෙර වෙනස් වීමක් සිදුනොවුවහොත් හෙට දිනයේ සිට එය සියයට 15ක් වනු ඇත.

කෙසේවෙතත් වැට් බද්ද මෙතෙක් ක්‍රියාත්මක නොවු විදුලිය සඳහා ඉදිරියේදී ද වැට් බදු ඇතුළත් නොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

එහෙත් සියයට 2ක් වු ජාතිය ගොඩනැගීමේ බද්ද හෙට දිනයේ සිට විදුලිය සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. 

ජල ගාස්තු සඳහා මෙන්ම විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා ද අදාළ වැට් බදු වැඩිවීම බලපැවැත්වෙනු ඇත.
 
 ඖෂධ සඳහා වැට් බදු අයකිරීමක් සිදුනොවුව ද පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සඳහා වැට් බදු සංශෝධනය බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම බදු සංශෝධනයෙන් සාමාන්‍ය ජනතාවට බලපෑමක් සිදුවීමට ඉඩ නොතබන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.