මව් දෙරණට දායාදයක්....

මව් දෙරණට දායාදයක්....

March 15, 2019  

Bookmark and Share
මනුසත් දෙරණ සොබාදම් බලකාය ක්‍රියාත්මක කරන පැළ මිලියනයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතය සම්පූර්ණ කරමින් මිලියනවෙනි පැළය රෝපණය කිරීම අද(15) සිදුවිය.

ඒ ඓතිහාසික කුරුණෑගල රිදී විහාර පුදබිම මුල් කරගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි අද පෙරවරුවේ පැවති රුක් රෝපණ වැඩසටහනේදීය.

මනුසත් දෙරණ සොබාදම් බලකාය පැළ මිලියනයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතය 2016 වසරේ අගෝස්තු මස 28 වනදා ආරම්භ කළේ දෙහිවල නැදිමාල ශ්‍රී මහා විහාර පරිශ්‍රෙයන්ය.

එතැන් සිට ගතවූ වසර දෙකහාමාරක කාලය තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ආගමික ස්ථාන, පාසැල්,විශ්ව විද්‍යාල සහ සමාජ සංවිධාන සමඟ එක්ව මනුසත් දෙරණ සොබාදම් බලකාය දිවයින පුරා රුක් රෝපණය සිදුකළේය.

ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව කඩවත සිට මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ පිටත වටරවුම් මාර්ගය දෙපස පැල ලක්ෂයකට අධික ප්‍රමාණයක් රෝපණය කිරීම ඒ අතර සුවිශේෂීය.

එමෙන්ම රූපවාහිනී නාලිකාවක් වශයෙන් ලෝකයටම ආදර්ශයක් සපයමින් TV දෙරණ සිය 13 වන සංවත්සරය සැමරුවේ සියලු සැමරුම් පසෙකලා ''මගෙන් ගසක් මව්දෙරණට ''තේමාවෙන් දිවයින් පුරා දැවැන්ත ප්‍රජා මූලික රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින්ය.

රටේ පළමු පුරවැසියාගේ සිට සියලු දෙනා ඒ සමඟින් අත්වැල් බැඳගත්තේ TV දෙරණ ඔස්සේ විකාශය වූ පැය 7ක අඛණ්ඩ සජීව විකාශයක්ද සමඟින්ය.

එලෙස ක්‍රියාත්මක වෙමින් සොබාදහම වෙනුවෙන් පැළ මිලියනයක් දායාද කරමින් මනුසත් දෙරණ සොබාදම් බලකාය මිලියනවෙනි පැලය අද මවු දෙරණට දායාද කළේය.

ඒ ඓතිහාසික රිදි විහාරය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි අද පෙරවරුවේ පැවති රුක් රෝපණ වැඩසටහනේදීය.

ඓතිහාසික රිදී විහාර භාරකාර මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය විසින් මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධාන කර තිබුණි.

එමෙන්ම මේ යටතේ ඓතිහාසික රිදී විහාර පරිශ්‍රෙය් සිට මල්ලවපිටිය මංසන්ධිය මොණරාගල විහාරස්ථානය දක්වා මඟ දෙපස පැළ රෝපණය කිරීම සිදුවුණි.

කුරුණෑගල දිස්ත්‍රක්කයේ සියලු පාසැල් සහ රාජ්‍ය ආයතන අද මෙම වැඩසටහන සමඟින් අත්වැල් බැඳගත්තේය.