වන්දනාව

වන්දනාව

December 6, 2018  

Bookmark and Share
එළඹෙන ශ්‍රී පාද වන්දනා වාරයට ප්‍රථම හැටන් ශ්‍රී පාද මාර්ගයේ නල්ලතන්නිය මොහිණී ඇල්ලේ සිට නල්ලතන්නිය දක්වා වූ ප්‍රධාන මාර්ගය කපා පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය මඟින් ආරම්භ කර තිබේ.

නොර්වුඩ් මහා මාර්ග කාර්යයාලයේ විධායක ඉංජිනේරු කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතා කියා සිටියේ මෙතෙක් එම මාර්ගය එක් වාහනයකට පමණක් ධාවනය කිරීමට අඩි 8 පමණ මාර්ගයක් තිබූ අතර එම මාර්ගය මංතීරු දෙකක් වශයෙන් ප්‍රතිසංස්කරණය කරන බවයි.

මවුස්සාකැලේ ජලාශයට ඉහලින් ඉහල කඳු මුදුණේ සිට පරිසර හිතකාමි ලෙස පස් කපා ඉවත් කර මෙම මාර්ගය පුළුල්කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් මේ වන විට ආරම්භ කර තිබේ.

ශ්‍රී පාද වන්දනා සමයේදි මොහිණි ඇල්ලේ සිට නල්ලතන්නිය නගර දක්වා මාර්ගය පටු නිසා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගෙන එන රථ වාහන ධාවනයේදී ගැටළු රැසක් මතු විම හේතුවෙන් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කළ ඉල්ලීමක් මත මෙම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.

නොර්වුඩ් මහා මාර්ග කාර්යයාලයේ විධායක ඉංජිනේරුවරයා කියා සිටියේ 2018-2019 ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 22 දින ආරම්භ වන අතර ඊට ප්‍රථම එම මාර්ගයේ මංතීරු දෙකක් රථවාහන ගමනා ගමනයට එක් කරන බවයි.

(ඡායාරූප- රංජිත් රාජපක්ෂ)