ව්‍යාජ  වැලි ප්‍රවාහන බලපත්‍ර මුද්‍රණය කළ කප්පිත්තෙක් මාට්ටු

ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර මුද්‍රණය කළ කප්පිත්තෙක් මාට්ටු

March 4, 2016   09:32 pm




ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සිටින වැලි ජාවාරම්කරුවන්ට ව්‍යාජ වැලි ප්‍රවාහන  බලපත්‍ර මුද්‍රණය කර එම බලපත්‍රයක් රුපියල් 4000ක මුදලකට අලෙවි කළ කොට්ටාව, බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

52 හැවිරිදි අදාළ පුද්ගලයා විසින් මුද්‍රණය කරන ලද ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර 44ක්, නිලමුද්‍රා  106ක්,පරිගණකයක් සමග මුද්‍රණ යන්ත්‍රයක් හා මුද්‍රණ කඩදාසි තොගයක්  සමග සැකකරු හුංගම පොලිසිය විසින් අද (04) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

 පසුගිය 03 වනදා හුංගම පොලිසියේ රථවාහන අංශයේ පො.කෝ 4448 කුමාර නමැති පොලිස් නිලධාරියා රාජකාරි නියැලෙමින් සිටියදී වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක  බලපත්‍රයක් පරික්ෂා කිරීමේදී එම බලපත්‍රය ව්‍යාජ එකක් බවට ඇතිවූ සැකය මත ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම ව්‍යාජ බලපත්‍ර මුද්‍රණයක කර අලෙවි කරන කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනූව තංගල්ල සහකාර පොලිස් අධිකාරි සුදත්මාසිංහ මහතාගේ උපදෙස් මත හුංගම පොලිසියේ ස්ථානාධිපති පො .ප .චන්ද්‍රසේන මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් වැලි ජාවාරම් කරුවෙකු උපාය දුතයෙකු ලෙස යොදවා වැලි ප්‍රවාහන බලපත්‍ර 20 ක් ලබාගැනීමට අදාළ බලපත්‍ර මුද්‍රණය කර විකුණන පුද්ගලයා කැමති කරවාගෙන පසුව ඔහුගේ කීමට අනුව 04 වනදා උදේ කොට්ටාව ප්‍රදේශයට ගොස් ඇත. පසුව ව්‍යාජ බලපත්‍ර රැගෙන ආ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඔහුගේ නිවසේ තිබු ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර 44ක්, නිලමුද්‍රා  106ක් ,පරිගණකයක් සමග මුද්‍රණ යන්ත්‍රයක් හා මුද්‍රණ කඩදාසි තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.

  අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී මෙම ජාවාරම වසර ගණනක් තිස්සේ සිදුකර ඇති බවත් මේ වන විට නිකුත් කර තිබෙන බලපත්‍ර ප්‍රමාණය ඔහුට අමතක බවත් පවසා තිබේ. එමෙන්ම ගැනුම් කරුවන්ගේ ඉල්ලීම අනුව,කොට්ටාව ප්‍රදේශයේදී හා ඇඹිලිපිටිය ප්‍රදේශයට ගෙනවිත් බලපත්‍ර විකුණු බව සැකකරු පොලිසියට පවසා ඇත. සැකකරු අගුණුකොළපලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල සහකාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ සැකකරු විසින් නිකුත් කරන ලද ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර ළඟ තබාගෙන සිටින සියලුම වැලි ජාවාරම් කරුවන් නිතිය හමුවට පැමිණ වීමට කටයුතු කරන බවයි.



ඡායා රූ - රාහුල් සමන්ත