Back to Top

 ඇතැම් නිලධාරීන් මුදල් සහ බලය හමුවේ වගකීම් පැහැරහැරලා

ඇතැම් නිලධාරීන් මුදල් සහ බලය හමුවේ වගකීම් පැහැරහැරලා

February 17, 2016  10:59 pm

Bookmark and Share

ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය පෙරට වඩා වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  පවසයි.

ඔහු පෙන්වා දුන්නේ ක්‍රීඩාව දියුණු කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයාට වඩා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට පැවරෙන බවයි.

නමුත් යහපාලන ආණ්ඩුවක් පැවැතියේ වුවද ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් මුදල සහ බලය හමුවේ ස්වකීය වගකීම් නිසියාකාරව ඉටු නොකරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.


ඔහු මේ බව ප්‍රකාශ කළේ නිමා වූ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රණය ලබා ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඇගයීමේ උත්සවයට සහභාගි වෙමිනි.


මෙවර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගණන 4ක් වේ.


එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජනිත සුරත් ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායමේ නායකයා ලෙසද, වාසනා මධුමාලි ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ උපනායිකා ලෙසද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා උළෙලට එක් විය.

මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලංක සංජය ජාතික පිරිමි වොලිබොල් කණ්ඩායම නියෝජනය කළේය. 12වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට එක් වූ ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළේද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාලික වසන්තප්‍රිය මහතා වේ. 

නිමා වූ 12වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් සහ කාන්තා වොලිබෝල් රිදී පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දීමට උරදුන් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරු ඇගයීමේ උත්සවය අද පස්වරුවේ (17) පැවැත්වුණේ වරාය සහ නාවික අමාත්‍ය ශ්‍රවණාගාරයේදීයි.

ඔවුන් සඳහා මුදල් ත්‍යාග පිරිනැමීම සහ උසස් වීම් ප්‍රදානය කිරීමද එම උත්සවයේදී සිදු කෙරිණ.  මෙහි විශේෂත්වය වූයේ 24වතාවක් බිලියඩ් ජාතික ශූරතාව දිනූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කේ. එච්. සිරිසෝම මහතාද ඇගයීමට ලක් කිරීමයි. ඔහුටද මුදල් ත්‍යාග පිරිනැමීමට සහ සේවා දිගුවක් ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කළේය.

උත්සව සභාව අමතමින්  වරාය සහ නාවික අමාත්‍ය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි වෙනම ක්‍රීඩා ඒකකයක් පිහිටුවීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවයි.


 “   ක්‍රීඩාව දිශාවකට ගෙනයන්න නම් ක්‍රීඩා අමාත්‍යාංශය මීට වඩා ලොකු වගකීමකින් කටයුතු කරන්න ඕනේ. ක්‍රීඩකයින්ව නිවැරදි මාර්ගයේ ගෙනියන්න ඕනේ ඇමතිවරු නෙවෙයි, නිලධාරීන්. නිලධාරීන් හරි දේ කළොත් ක්‍රීඩාව මීට වඩා විශාල ප්‍රමාණයෙන්  දියුණු කරන්න අපිට පුළුවන්. අපි පසුගිය කාලේ දැක්කේ සුදුසු නැති පුද්ගලයන් ඒ ස්ථානවලට පත්වුණාම ක්‍රීඩාව පමණක් නෙවෙයි ඕනෑම ආයතනයක් පරිහානියට පත්වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන අපි පසුගිය කාලේ විවේචනය කළා. විවේචනය කරන්නේ එක් පුද්ගලයෙකුට ඇඟිල්ල දික්කරන්න නෙවෙයි. ඒ පුද්ගලයා එක්කෝ ඕනකමින් වැරැද්ද කරනවා, එහෙම නැත්නම් අමාත්‍යවරයාගේ අනුදැනුම ඇතුව වැරැද්ද කරනවා. ඒකෙන් අසරණ වෙන්නේ ක්‍රීඩකයෝ. මුදලට යට වෙච්ච, බලතල වලට යට වෙච්ච ක්‍රියාකලාපයක් පසුගිය කාලේ තිබුණා. යහපාලන ආණ්ඩුවක් හැදුවට දැන් උණත් මම හිතන්නේ නැහැ ඒක සියයට සීයක් සාර්ථක වෙලා තියෙනවා කියලා. නිලධාරීන් කරන ක්‍රියා නිසා අසරණ වෙන්නේ ක්‍රීඩා සමාජ, ක්‍රීඩා ආයතන ඒ වගේම ක්‍රීඩකයෝ. මේ තත්ත්වය වෙනස් කරන්න නම් මීට වඩා ලොකු අවධානයක් යොමු කරන්න ඕනා ක්‍රීඩාව ගැන”

මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩබලන සභාපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්ව සිටියහ.