අපේ ධීවරයින් ඇල්ලීම වහා නතර කළ යුතුයි

අපේ ධීවරයින් ඇල්ලීම වහා නතර කළ යුතුයි

February 13, 2016   05:42 pm




ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම නතර කිරීමට පියවර ගත යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමු කරමින් ඇය සඳහන් කර ඇත්තේ මෙම ගැටළුව සඳහා කඩිනම් විසඳුමක අවශ්‍යතාව දැඩිව පවතින බවයි.

මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින් අඛණ්ඩව අත්අඩංගුවට ගැනීම අවාසනාවන්ත සිදුවීමක් බව අමාත්‍යවරිය පවසා ඇත.

සිය රජය පෝක් සමුද්‍ර සන්දිය ආසන්නයේ සාම්ප්‍රදායක අයුරින් ධීවර කටයුතුවල නිරත වන ධීවරයින්ගේ අයිතිවාසිකම් සහතික කිරීමට සහ ආරක්ෂා කිරීමට කැපවී  සිටින බව අමාත්‍යවරිය අධාරණය කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම සිදු කරන අත්අඩංගුවට ගැනීම් සහ පහරදීම් තවදුරටත් කරගෙන යාමට ඉඩලබා නොදීමට ඉන්දීය රජය පියවර ගත යුතු බව ජයලලිතා ජයරාම් පවසා ඇත.

ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් ධීවරයින් ඇතුළු මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 27 දෙනා සහ ධීවර යාත්‍රා 73ක් නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙසද තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.