විනය පරීක්ෂණ එපා - ශ්‍රීලනිපයෙන් පැන්නූවෝ මාධ්‍ය හමුවේදී ලිපි ගිනි තබති

විනය පරීක්ෂණ එපා - ශ්‍රීලනිපයෙන් පැන්නූවෝ මාධ්‍ය හමුවේදී ලිපි ගිනි තබති

February 13, 2016   03:28 pm




විනය කඩ කළැයි චෝදනාවට ශ්‍රීලනිපයේ  සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ එම පක්ෂයේ පළාත් පාලන ආයතන කිහිපයක නියෝජිතයින් පිරිසක් අද (13) මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ තීරණයට දැඩි අප්‍රසාදය පළ කරන ලදී.

එම මාධ්‍ය හමුවට වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරාල, මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර, බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත, අත්නගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධණ, මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සනත් නන්දසිරි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී ඔවුන් තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ගත් තීරණය දැඩි ලෙස හෙළාදකිමින් අදහස් පළ කරන ලදී.

ශ්‍රීලනිපය විනාශ කිරීමට නොව එය රැක ගැනීමට උරදුන් මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීම තමන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට හේතුව දැයි ඔවුන් එහිදී විමසා සිටි අතර මෛත්‍රිපාල සිරිසේන මහතා පැදුරටත් නොකියා ගොස් එජාපය සමග එක්වී පක්ෂය දෙකඩ කළ බවට චෝදනා කළේය.

විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත පිළිතුරු ලබාදෙන්නැයි කියමින් ශ්‍රීලනිපයේ මහලේකම්වරයා ලිපියක් එවා ඇති බව මාධ්‍ය හමුවේදී කියා සිටි වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරාල එම ලිපිය එහිදී ගිනි තැබීය.

ඊට ගිනි තබමින් ඔහු කියා සිටියේ ශ්‍රීලනිපයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා මෙම ලිපියේ අළු නළලේ ගා හරි වැරැද්ද සොයාබැලිය යුතු බවයි.

තමන් පක්ෂය කැඩීමට දායක නොවූ බවත්, පක්ෂය රැක ගැනීමට කැපවූ කෙනෙක් ලෙස මෙම තීරණයට විරෝධය පළ කරන බවත්, "ඇයි අපිට මෙහෙම කරන්නේ" යැයිද එම මාධ්‍ය හමුවේදී කාන්ති කොඩිකාර මහත්මිය කියා සිටියාය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගන්නා ස්ථාවරය කුමක්ද? එම ස්ථාවරයේ තමන් සිටින බවත්, තවදුරටත් පමා නොවී පළාත් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත්, එහිදී ඔවුන් රජයෙන් ඉල්ලීමක් ද කරන ලදී.