හම්බන්තොටට සංවර්ධන සතියක්

හම්බන්තොටට සංවර්ධන සතියක්

February 12, 2016   04:00 pm


ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල ප්‍රධාන සංවිධායක දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා විසින් මෙම සංවර්ධන සතිය සංවිධානය කර තිබේ.

මේ යටතේ දිස්ත්‍රික්කයේ අතුරු මාර්ග සංවර්ධනය, සංවර්ධන ව්‍යපෘති ආරම්භ කිරීම, වැඩ අවසන් කළ සංවර්ධන ව්‍යපෘති ජනතා අයතියට අතට පත්කිරීමට නියමිතය.

එසේම නව සංවර්ධන ව්‍යපෘති රැසක්  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
මෙවර අ.පො.ස.(උ/පෙ) විභාගයට පෙනී සිට විශ්ව විද්‍යාල වරම් ලැබූ තංගල්ල අන්ඳ විද්‍යාලයේ සියලු සිසු දරු දැරියන්ට උසස් අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීමද, බ්‍රේල් ක්‍රමයට පරිශීලනය කළ හැකි බ්‍රේල් මෘදුකාංගය ඇතුළත් කළ ලැප්ටොප් පරිගණක විශ්වවිද්‍යාල වරම් හිමි කරගත් එම විද්‍යාලයේ සියලු දරු දැරියන්ට ලබාදීමට නියමිතය.ඊට අමතරව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යපෘති හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමටද නියමිතය.

දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයාගේ දේශපාලන දිවියට විසිපස් වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහන් රැසක් මෙම සංවර්ධන සතියට සමගාමිව 16 වෙනිදා සිට 21 වෙනිදා දක්වා සිදුකිරීමට නියමිතව තිබේ.

මේ යටතේ 17  වෙනිදා උදෑසන 9.00ට තංගල්ල, කොටුවේගොඩ ඓතිහාසික වැල්ලේ බෝධීන් වහන්සේගේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර 18 වන දින පස්වරු 4.30  තංගල්ල  ඓතිහාසික හේනකඩුව රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරනු ලබන සංඝාවාසයට මුල්ගල් තැබීමද අමාත්‍යතුමා අතින් සිදුකිරීමට නියමිතව ඇත.


එදිනම පස්වරු 5.00ට ජනපති,  අගමැති ඇතුළු රජයටත් සමස්ත රටවැසියටත් සෙත් පතා බෝධිපුජා පිංකමක් පැවත්වේ. එදිනම පස්වරු 6.00 හේනකඩුව ශ්‍රී ස්කන්ධ කුමාර කඩදොර දිව්‍යරාජ භවනේදී විශේෂ දේව පූජාවක්ද පැවත්වේ.

20 වන දින පෙරවරු 11.00 පල්ලේමලල පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල් තැබීමද සිදුකිරීමට නියමිත අතර 20 හා 21 යන දෙදින පුරාද තවත් ආගමික වැඩසටහන් රැසක් සිදුකිරීමට නියමිතය.