ඥානසාර හිමිට එරෙහිව නීතිපතිගේ අභියාචනය විභාගයට ගැනෙයි

ඥානසාර හිමිට එරෙහිව නීතිපතිගේ අභියාචනය විභාගයට ගැනෙයි

February 10, 2016   02:25 pm



බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකු වරදකරුවන් කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබු  අභියාචනයක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

 මාර්තු මස පළමු වැනිදා එය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2008 වසරේ මාලඹේ තලාහේන ප්‍රදේශයේ පිහිටි කතෝලික යාඥා මධ්‍යස්ථානයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබු බව සඳහන්ය.

ඊට අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු නඩුවක් විභාගයට ගත් කොළඹ මහාධිකරණය  විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

කෙසේ වෙතත් එම තීන්දුව ඉවත්කොට විත්තිකරුවන් වරදකරුවන් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.