යෝජනාව ඒකමතිකව සම්මතයි

යෝජනාව ඒකමතිකව සම්මතයි

February 10, 2016   11:18 am



උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවක් පළාත් සභාවේ දී ඒකමතිකව සම්මත වී තිබේ.

 උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයිගරනේෂන් මහතාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මැදිහත් වී වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අදාළ යෝජනාවෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

වව්නියාව දිස්ත්‍රික් උතුරු පළාත් සභා මන්ත්‍රී ජි.ටි.ලිංගනාදන් මහතා විසින් එම යෝජනාව පළාත් සභාව වෙත ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පළාත් සභාව පිහිටුවා වසර තුනක කාලයක් ගත වුවද පළාත් සභා කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා කෘෂිකර්ම අංශයේ දියුණුව වෙනුවෙන් කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් ලැබී නොමැති බව  මන්ත්‍රීවරයා යෝජනාවෙන් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් පළාත් මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීම් කිසිවක් පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා සැළකිල්ලට ගෙන නොමැති අතර සිය අභිමතය මත පමණක් ඔහු කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යාංශයේ ඇතැම් නීති විරෝධී ක්‍රියාවන් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවත් එම යෝජනාවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.